ලංකාවට ආ තායිලන්ත නියෝජ්ය අගමැතිනියට ආරක්ෂාව නොදුන්නේ ඇයි?.. – එජාපයෙන් නිවේදනයක්
1 min read
මිහින්තලේ මිහිඳු මහ සෑයේ කොත් නිරාවරණය කිරීමේ පින්කමේ ප්රධාන ආරාධිතාව ලෙස සහභාගී වූ තායිලන්තයේ නියෝජ්ය අගමැතිනියට නිසි ආරක්ෂාවක් හෝ රාජ්ය තාන්ත්රික පිළිගැනීමක් ලබා නොදීමෙන් පෙනී යන්නේ මාලිමා රජයේ අපරිණත විදෙස් පිළිවෙත බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙන්නේ නිල වශයෙන් හෝ නොනිල ලෙස මෙරටට පැමිණෙන නායකයින්ට රාජ්ය තාන්ත්රික පිළිගැනීම සහ ආරක්ෂාව ලබාදීම සම්ප්රදායක් වන බවයි.
මීට පෙර බලයේ නොසිටි මහා බ්රිතාන්යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් මහතා පෞද්ගලික සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේදී පවා එවකට පැවැති රජය විශේෂ ආරක්ෂාවක් ලබා දීමට පියවර ගත් බව එම නිවේදනයේ සඳහන් වේ.
තායිලන්තය අනාධිමත් කාලයක සිට ශ්රී ලංකාව සමඟ සමීප සබඳතා පවත්වන රටක් වන අතර, එරටින් කොත් කැරැල්ල සහ චූඩා මාණික්ය වැඩමවාගෙන ඒමට පියවර ගත් නියෝජ්ය අගමැතිනී සුපජී සුතුම්පුන් (Suphajee Suthumpun) මැතිණියට බුද්ධ ශාසනයේ වැදගත් උත්සව අවස්ථාවකදී මේ ආකාරයට සැලකීම පිළිබඳව බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්යවරයා වහාම රටට පැහැදිලි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර ඇත.
