මානව හිමිකම් කොමිසමෙන් අධිකරණ ඇමතිට ලිපියක්..
1 min read
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැසට් මගින් පසුගිය 6 වැනිදා ප්රකාශයට පත් කර එය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරමින් ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති අනුර කුමාර දිසානායකට පිටපත් සහිතව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර වෙත ලිපියක් යොමු කර තිබේ.
සංවිධානාත්මක අපරාධ මැඩලීම අරමුණු කරගත් නීති සම්පාදනයක් අවශ්ය බව කොමිෂන් සභාව පිළිගන්නා අතර, එවැනි නීතියක් ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට සහ ශ්රී ලංකාව පාර්ශ්වකරුවෙකු වන ජාත්යන්තර මානව හිමිකම් ගිවිසුම්වලට සම්පූර්ණයෙන්ම අනුකූල විය යුතු බවද ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පත ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට සහ ශ්රී ලංකාව පාර්ශ්වකරුවෙකු වන ජාත්යන්තර මානව හිමිකම් ගිවිසුම්වලට සම්පූර්ණයෙන්ම පටහැනි බව කොමිෂන් සභාව නිරීක්ෂණය කර ඇති බවයි අදාළ ලිපියේ සඳහන් වන්නේ.
එය 1979 අංක 48 දරන ත්රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා දැඩි හා ම්ලේච්ඡ විය හැකි බවයි ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දී තිබෙන්නේ.
පනත් කෙටුම්පතේ විධිවිධාන මගින් ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ 16 වන වගන්තිය ප්රතිනිර්මාණය කර ඇති බවත් කොමිෂන් සභාවට නිරීක්ෂණය වන බවද එම ලිපියේ දැක්වේ.
බරපතල අපරාධයකට සම්බන්ධ හෝ හවුල් වන සැකකරුවෙකු රඳවා තබා ගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයාගෙන් රඳවා තබා ගැනීමේ නියෝගයක් ලබා ගැනීමට පොලිසියට මෙම පනත් කෙටුම්පත මගින් බලය ලබා දෙන බවද කොමිෂන් සභාව පෙන්වා දෙයි.
සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයින් භාවිත කරන ඇඳුම් විලාසිතා, අත් සංඥා, භාෂාව හෝ පච්ච සටහන් , නැතහොත් එවැනි සාමාජිකයින් සමග සරල ඇසුරක් පැවැත්වීම පවා ඊට ඇතුළත් බවයි ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ.
මීට අමතරව සැකකරුවෙකු නිදහස් කළ යුතුද, ඇප මත මුදා හැරිය යුතුද, නැතහොත් රක්ෂිත බන්ධනාගාරගත කළ යුතුද යන්න තීරණය කිරීමේ සාමාන්ය අභිමතානුසාරී බලය අධිකරණයෙන් ඉවත් කර තිබීමත් කොමිෂන් සභාව නිරීක්ෂණය කළ බරපතළ කරුණක් බව මෙම ලිපියේ දැක්වේ.
