ඇසේ සුද නිසා අන්ධ වෙන පිරිස වැඩිවෙලා
1 min read
ඇසේ සුද හේතුවෙන් ඇතිවන අන්ධභාවය වළක්වා ගත හැකි බව අක්ෂි වෛද්‍යවරු සඳහන් කරති. නමුත් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ නිසි වැඩපිළිවෙළක් නොමැති වීමෙන් වැඩිහිටියන් සැලකිය යුතු පිරිසක් මේ වන විට අන්ධභාවයට පත්ව ඇති බවද ඔවුහු පෙන්වා දෙති. ළමුන්ගේ අක්ෂි ආබාධද යුතු ලෙස වර්ධනය වී ඇති බවද කියැවෙයි. මෙම කරුණු පිළිබඳව ප්‍රජා අක්ෂි වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රධානී, ප්‍රජා අක්ෂි වෛද්‍ය, අසේල අබේධීර සමග “අරුණ” කළ සාකච්ඡාවකි මේ.
දරුවන්ගේ අක්ෂි ආබාධ සැලකිය යුතු ලෙස වැඩිවීමක් පෙන්නුම් කරන බව අක්ෂි වෛද්‍යවරු කියනවා. මොකක්ද එහෙම වෙන්න හේතුව?
අද ජංගම දුරකථන, ලැප්ටොප්, පරිගණක වැනි ඩිජිටල් තිර භාවිතයට දරුවන් වැඩි වශයෙන්ම යොමුවීමයි දරුවන්ගේ අක්ෂි ආබාධ වැඩිවෙන්න ප්‍රධාන හේතුව. විශේෂයෙන්ම ජංගම දුරකථනය වැඩි වේලාවක් භාවිත කිරීම ප්‍රධානම හේතුවක්. අවිදූර දෘෂ්ටිකත්වය ඇතිවීම නැතිනම් දුර පෙනීම අඩුවීමට ප්‍රධානතම හේතුවක් තමයි ඩිජිටල් තිර වැඩි වේලාවක් භාවිත කිරීම. අනෙක් කාරණය දරුවන් එළිමහනේ සෙල්ලම් කරන කාලය අඩුවීම අද බොහෝ දරුවන් එළිමහනට වෙලා සෙල්ලම් කරන්නේ නැති තරම්. සාමාන්‍යයෙන් දරුවෙක් අවම වශයෙන් දිනකට පැය දෙකක්වත් එළිමහනේ කාලය ගත කළ යුතුයි.
මේ වන විට අප රටේ අක්ෂි ආබාධ සහිත ළමයින් කොපමණ සංඛ්‍යාවක් සිටිනවාද?
දරුවන්ගේ අන්ධභාවය හෝ දෘෂ්ටි ආබාධ සම්බන්ධ කිසිම ජාතික සංගණනයක් අපේ රට තුළ කරලා නැහැ. නමුත් කොවිඩ් වසංගතයෙන් පසුව ලොව පුරාම ඩිජිටල් තිර භාවිතයට යොමු වුණා. ඒ නිසා ළමුන්ගෙන් සියයට 40කට වැඩි පිරිසක් දෘෂ්ටි ආබාධවලට ලක් වූ බව අන්තර්ජාතිකව කළ සමීක්ෂණවලට අනුව හෙළි වුණා.
අක්ෂි ආබාධ සහිත දරුවන් සම්බන්ධයෙන් අපේ රටේ කිසිම සංගණනයක් කරලා නැහැ කියලා ඔබ කියනවා. වැඩිහිටියන් සම්බන්ධයෙන් හෝ එවැනි සංගණනයක් කර තිබෙනවාද?
“විෂන් 2020” වැඩසටහන යටතේ 2013 – 2015 වර්ෂ තුළ අන්ධභාවය පිළිබඳ ජාතික සංගණනයක් කළා. එම සංගණනයේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කළේ මමයි. ඒ සංගණනයේ දත්තවලට අනුව වයස අවුරුදු 40 හා ඊට වැඩි පුද්ගලයන්ගෙන් සියයට 1.7ක් අන්ධයි. මේ අයගෙන් සියයට 66ක් අන්ධ වෙලා තියෙන්නේ ඇසේ සුද නිසා. ඒ කාලයේ අන්ධභාවයට පත් වූවන් ලක්ෂ එකහමාරක් පමණ හිටියා. ඉන් පසුව තවමත් සංගණනයක් කරලා නැහැ. මගේ සේවා අත්දැකීම්වලට අනුව මම හිතන්නේ ඊළඟ අවුරුදු 5 ඇතුළත ඇසේ සුද ඉවත් කර ගැනීමේ සැත්කම් සඳහා ලක්ෂ 15 – 20ක් වගේ වැඩිහිටි පිරිසක් ඉන්න ඇති. මොකද වැඩිහිටි ජනගහනය ක්‍රමයෙන් වැඩිවෙනවා. වයස්ගත වීමත් සමග ඇසේ සුද මතු වීමත් වැඩිවෙනවා. ඒ වගේම රටේ ජනගහණයෙන් සියයට 25කට දියවැඩියාව. දියවැඩියාවත් ඇසේ සුද ඇතිවීමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා.
මේ වන විට ඇසේ සුද සහිත වැඩිහිටියන් ලක්ෂ 15 – 20ක් වගේ සිටින බව අනුමාන කළ හැකියි කියලා ඔබ කියනවා. මේ පිරිසගේ ඇසේ සුද ඉවත් කර ගන්න කොපමණ කාලයක් ගතවෙයිද?
ඉදිරි වසර 5 තුළදී ඇසේ සුද ඉවත් කිරීමට නම් වසරකට සැත්කම් ලක්ෂ 3ක්වත් කළ යුතුයි. නමුත් දැන් කරන්නේ සැත්කම් ලක්ෂයක් පමණයි. දැනටමත් ඇසේ සුද නිසා වයස අවුරුදු 50 – 60 ඉක්ම ගිය පසුව අන්ධභාවයට පත්වෙන පිරිස වැඩියි.
” විෂන් 2020″ වැඩසටහන ගැනත් අපි මතක් කිරීමක් කරමු?
ලෝක සෞඛ්‍ය සංවිධානය හා අන්ධභාවය වැළැක්වීමේ අන්තර්ජාතික ඒජන්සිය එකතු වෙලා 1999දී “විෂන් 2020” කියන වැඩසටහන ආරම්භ කළා. එහි අරමුණ වුණේ 2020 වර්ෂය වන විට ලෝකයේ වළක්වා ගත හැකි අන්ධභාවය තුරන් කිරීමයි. මේ වැඩසටහනට වසර 2007දී ලංකාවත් එකතු වුණා. ඒ අනුව ලංකාව තුළත් විෂන් 2020 කියලා වැඩසටහනක් ආරම්භ කළා.
එවකට සිටි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ මඟපෙන්වීම යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය, අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය, පෞද්ගලික ආයතන, ජාත්‍යන්තර සංවිධාන එකතු වෙලා තමයි ලංකාව තුළ විෂන් 2020 වැඩසටහන ආරම්භ කළේ. මම එහි සම්බන්ධීකාරක ලෙස කටයුතු කළා.
අන්ධභාවය තුරන් කිරීම සඳහා “විෂන් 2020” වැඩසටහනෙන් මොනවගේ දායකත්වයක්ද ලැබුණේ?
අක්ෂි ප්‍රතිකාර සඳහාවන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ට, හෙදියන්ට, අක්ෂි තාක්ෂණ නිලධාරීන්ට දෙස් විදෙස් පුහුණුව දීම, ඇසේ සුද ඉවත් කර කාච බද්ධ කිරීම, ග්ලූකෝමාව ඇතුළු අක්ෂි රෝග හඳුනාගෙන ඒවාට ප්‍රතිකාර කිරීමේ වැඩසටහන් ඇති කිරීම, පාසල් දරුවන්ට සහ වැඩිහිටියන්ට ඇස් කණ්ණාඩි ලබා දීම, කුඩා දරුවන්ගේ අන්ධභාවය වළක්වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදී වැඩසටහන් කරගෙන ගියා. මේ වැඩසටහන යටතේ බොහෝ රෝහල්වල අක්ෂි ශල්‍යාගාර සකස් කරලා ඒවාට අවශ්‍ය උපකරණ, අක්ෂි කාච දුන්නා. ඖෂධ අරගෙන දුන්නා. සැත්කම් කළා. පාසල් ළමුන්ගේ ඇස් පරීක්ෂා කරලා කණ්ණාඩි දුන්නා. ලංකාවේ දිස්ත්‍රික්ක 25 තුළ මිලියන් 40ගේම ඇස් පරීක්ෂා කරලා ලක්ෂ 3කට ඇස් කණ්ණාඩි නොමිලේ දුන්නා. දහස් ගාණක් ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් කළා. ඇසේ සුද නිසා අන්ධ වූ ඈත පළාත්වල දුප්පත් මිනිසුන්ව සොයාගෙන ගිහින් අපි සැත්කම් නොමිලේම කළා. ඒ අයගේ ගමටම යන්න පුළුවන් විදිහට අඩි 40ක ප්‍රමාණයකින් යුතු ජංගම අක්ෂි රෝහලක් අපි හැදුවා. ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් කරන ශල්‍යාගාරයත්, අක්ෂි රෝහලක තිබිය යුතු සියලුම පහසුකම්වලින් මෙම ජංගම රෝහල සමන්විතයි. මෙම රෝහල හැදිවේ 2016 වර්ෂයේදී. මේ ව්‍යාපෘතියට රජයේ කිසිම මුදලක් වැය වුණේ නැහැ. සියලුම දේවල් පරිත්‍යාගශීලීන්ගේ උපකාරවලින් කළේ.
නමුත් දේශපාලන බලපෑම මත 2017 වර්ෂයේදී ඒ වැඩසටහන නතර කරන්න වුණා.
දේශපාලන බලපෑම් නිසා විෂන් 2020 වැඩසටහන නතර කරන්න වුණා කිව්වේ මොකක්ද?
එවකට සිටි සෞඛ්‍ය ඇමැතිවරයා විෂන් 2020 ජාතික වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අයින් කරලා අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයට භාර දුන්නා. ඒ අයට රෝහල්වල සායනික කටයුතු සමග වැඩසටහනක් පරිපාලනය කිරීමට කාලයක් තිබුණේ නැහැ. ප්‍රතිපාදන රැස් කිරීමට හැකියාවක් තිබුණෙත් නැහැ. ඒ නිසා “විෂන් 2020″වැඩසටහන 2020 වර්ෂයට කලින්ම නතර වුණා.
“විෂන් 2020” වැඩසටහන අතරමග නතර වුණානම් ඒ වැඩසටහන වෙනුවෙන් නිර්මාණය කළ ජංගම අක්ෂි සැත්කම් රෝහලට මොකද වුණේ?
මිලියන ගණනාවක් වැය කරලා අපි සකස් කළ ජංගම අක්ෂි රෝහල වසර ගණනාවක්ම ප්‍රයෝජනයට නොගෙන පැත්තකට දාලා තිබුණා. අවසාන වශයෙන් අපි එය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට භාර දුන්නා. ගුවන් හමුදාව එය හොඳින් නඩත්තු කරනවා. නමුත් එයින් ගත යුතු ප්‍රයෝජන ගන්න විදිහක් නැහැ. ඒ ජංගම අක්ෂි රෝහල නැවැත ප්‍රයෝජනයට ගන්න පුළුවන් නම් ඇසේ සුද නිසා අන්ධ වීමට යන අසරණ මිනිසුන්ට නොමිලේම පෙනීම ලබාදෙන්න පුළුවන්. එය ඈත ගම්වලට අරගෙන යන්න හැකියාව තියෙනවා.
නතර කළ විෂන් වැඩසටහන නැවැත ආරම්භ කරනවා නම් එය කළ යුත්තේ කෙසේද?
මුලින්ම අක්ෂි සෞඛ්‍යයට ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. අවශ්‍ය නිලධාරීන් පත් කරලා එයට ප්‍රතිපාදන වෙන් කර ගත යුතුයි. අනතුරුව සැත්කම්වලට සහාය දක්වන්න කැමැති අන්තර්ජාතික සංවිධාන, ආයතන, පුද්ගලයන් එකතු කරලා 2017 දක්වා කළා වගේ හොඳ වැඩසටහනක් කරලා ඉදිරියට ගෙන යා යුතුයි. අපි බලාපොරොත්තු වන්නේ දුෂ්කර පළාත්වලට ගිහින් ඇසේ සුද ඉවත් කරලා අවශ්‍ය පෙනීම ලබා දෙන්නයි. මේ සඳහා ජාතික මැදිහත්වීමක් අවශ්‍ය වෙනවා. මුල සිටම කරගෙන ආ විදිහට කරගෙන ගියා නම් මේ වන විට දහස් ගණනකට සැත්කම් කරලා පෙනීම ලබා දීලා අවසන්.
ඒ සම්බන්ධයෙන් වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා හෝ වගකිව යුත්තන් සමග සාකච්ඡා කළේ නැද්ද?
වත්මන් රජය බලයට පත් වූ පසුව මම පෞද්ගලිකවම ඇමැතිවරුන්ට, ජනාධිපති ලේකම්වරුන්ට මේ ගැන කිව්වා. මෙහි අවශ්‍යතාව පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් පවා සකස් කරලා දුන්නා. නමුත් මේ වන තුරුම ඉන් ප්‍රතිඵලයක් නැහැ.
විෂන් 2020 වැඩසටහන නතර වුණත් ඔබ අදටත් අක්ෂි වෛද්‍යවරයෙක් ලෙස ගම්වලට ගොස් ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් කරලා ජනතාවට පෙනීම ලබා දීමේ ව්‍යාපෘතියක් කරගෙන යනවා කියලා දැනගන්න ලැබුණා?
2015 වර්ෂයේදී මගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රජා අක්ෂි වෛද්‍යවරුන්ගේ සංගමය ආරම්භ කළා. මෙය ලියාපදිංචි වෘත්තීයවේදීන්ගේ සංවිධානයක්. අපි ගම්වලට ගිහින් ඇසේ සුද තියෙන අය හඳුනාගෙන ඒ අයව ගෙනැල්ලා සැත්කම් කරලා නැවැත ගමට ගිහිල්ලා ඇරලුවා. සැත්කමින් පසුවත් නැවැත නැවැත ඔවුන්ව පරීක්ෂා කර බලනවා. ප්‍රජා අක්ෂි වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ඇති වෛද්‍යවරුන් කිහිප දෙනෙක් මේ වැඩසටහන තුළ සිටිනවා.
අක්ෂි වෛද්‍ය විද්‍යාව සම්බන්ධ වෛද්‍යවරයෙක් ලෙස වසර 26ක සේවා කාලයක් හා පශ්චාත් උපාධි වෛද්‍යවරයෙක් ලෙස වසර 19ක සේවා කාලයක් මට තියෙනවා. මේ කාලය තුළ මම දිස්ත්‍රික්ක විසිපහේම ගිහින් ඇසේ සුද සහිත අසරණ මිනිසුන්ව හඳුනාගෙන සැත්කම් දාස් ගණන් කරලා තියෙනවා. නොමිලේ ඇස් කණ්ණාඩි පවා දෙනවා. අපි කරගෙන යන සමාජ සත්කාර වැඩසටහනට දෙස් විදෙස් විවිධ ස්වේච්ඡා සංවිධාන, පරිත්‍යාගශීලීන්, විවිධ ආයතන උදව් කරනවා. 2026 වර්ෂය තුළ අපි ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 2000ක් අවසන් කරන්න කටයුතු කරනවා. මේ වන විටත් ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 1000ට වැඩි සංඛ්‍යාවක් අවසන් කරලා තියෙනවා. විශේෂයෙන්ම පාසල්වලට ගිහින් ළමුන්ගේ ඇස් පරීක්ෂා කිරීම් අපි අඛණ්ඩව කරගෙන යනවා. ඇස්වල පෙනීම දුර්වල ළමයින්ට නොමිලේ ඇස් කණ්ණාඩි දීමටත් කටයුතු කරනවා.
