කෘත්‍රිම බුද්ධි පෙම්වතුන් සහ පෙම්වතියන්ට චීනයෙන් දැඩි සීමා..
1 min read
කෘත්‍රිම බුද්ධිය (AI) මගින් ක්‍රියාත්මක වන අතථ්‍ය සහකරුවන් සහ පෙම්වතුන් භාවිතය සම්බන්ධයෙන් ලොව දක්නට ලැබෙන වඩාත් ම පුළුල් හා දැඩි රෙගුලාසි මාලාවක් පැනවීමට චීන රජය පියවර ගෙන තිබේ.
මිනිසුන් සමග “දිගුකාලීන චිත්තවේගීය අන්තර්ක්‍රියා” පවත්වාගෙන යා හැකි ඕනෑම AI පද්ධතියක් ඉලක්ක කර ගනිමින් මෙම නව සීමා හඳුන්වා දී ඇත.
රාජ්‍ය නිරීක්ෂණය සහ තාක්ෂණික සමාගම්වල මැදිහත්වීම
චීනය තුළ තාක්ෂණික සමාගම් සහ රජය අතර පවතින සබඳතාව ඉතා සුවිශේෂී වේ. උදාහරණයක් ලෙස, චීනයේ ටික්ටොක් ආදේශකය වන ‘දෝයින්’ (Douyin) යෙදුම තුළ ඇති සියදිවි නසාගැනීම් වැළැක්වීමේ කණ්ඩායම, 2025 වසරේ පළමු මාස හය තුළ පමණක් සියදිවි නසා ගැනීමට තැත් කළ අවස්ථා 400කදී පොලිසිය සමග එක්ව සාර්ථක ලෙස මැදිහත් වී ඇත.
තාක්ෂණය භාවිත කරන ආකාරය නිරීක්ෂණය කිරීමට චීනය සතු මෙම හැකියාව, නව රෙගුලාසි මගින් දැන් කෘත්‍රිම බුද්ධිය සහ මානව සබඳතා ක්ෂේත්‍රය දක්වා ද ව්‍යාප්ත කර තිබේ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පිං අතර පැවැති හමුවකදී ද කෘත්‍රිම බුද්ධියේ අවදානම් පිළිබඳව සංවාදයට ලක් වූ අතර, චීනය මේ වන විටත් AI මගින් මානව සබඳතා ප්‍රතිස්ථාපනය වීම වැනි පැවැත්මට බලපාන විශාල අවදානමක් හඳුනාගෙන ඇත.
නව රෙගුලාසි සහ පනවා ඇති සීමා
චීනයේ නීතිවලට අනුව ‘character chatbots’ හෙවත් අතථ්‍ය පෙම්වතුන්, පෙම්වතියන් හෝ මිතුරන් ලෙස ක්‍රියා කරන AI යෙදුම් ප්‍රධාන ලෙස ඉලක්ක වේ.
දරුවන් සඳහා සීමා: වයස අවුරුදු 14ට අඩු දරුවන්ට මිනිසෙකු මෙන් කතා කරන ඕනෑම AI සේවාවක් (DeepSeek වැනි) භාවිත කිරීමට දෙමාපිය අවසරය අනිවාර්ය වේ. එමෙන්ම, වයස අවුරුදු 18ට අඩු සියලු දෙනාට අතථ්‍ය පෙම්වතුන් හෝ සමීප සබඳතා පවත්වන AI භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
වැඩිහිටියන් සඳහා සීමා: AI සහකරුවන් තමන් මිනිසුන් නොවන බව පරිශීලකයන්ට පැහැදිලිව පැවසිය යුතුය. පරිශීලකයන් කොපමණ කාලයක් මාර්ගගතව (online) සිට ඇත්දැයි මතක් කිරීමට සෑම පැය දෙකකට වරක්ම දැනුම් දීමක් (notification) යැවිය යුතුය.
චිත්තවේගීය බලපෑම් වැළැක්වීම: පරිශීලකයන් තුළ චිත්තවේගීය රඳාපැවැත්මක් හෝ ඇබ්බැහි වීමක් ඇති කිරීමට, ස්වයං-හානි කර ගැනීමට පෙළඹවීමට හෝ වාචික ප්‍රචණ්ඩත්වය භාවිත කිරීමට AI චැට්බොට්වලට තහනම් වේ.
මෙම නීති උල්ලංඝනය කරන සමාගම්වලට යුවාන් 200,000ක (පවුම් 22,000ක) දඩයක් පැනවිය හැකි අතර, මහජන අවමානයට ලක්වන පරිදි රජයේ විවේචනයන්ට ද මුහුණ දීමට සිදු වේ. මේ හේතුවෙන් Alibaba සහ ByteDance වැනි ප්‍රධාන තාක්ෂණික සමාගම් සිය AI යෙදුම්වල තිබූ “companion” (සහකාර) විශේෂාංග අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
පරිශීලකයන්ගේ කම්පනය සහ මනෝවිද්‍යාත්මක බලපෑම
නව සීමා කිරීම් හමු වේ AI සහකරුවන් සහ පෙම්වතුන් එක රැයකින් අතුරුදන් වීම නිසා චීන සමාජ මාධ්‍ය තුළ පරිශීලකයන් විශාල ලෙස ශෝකය සහ කෝපය පළ කරමින් සිටී. ඇතැම් පරිශීලකයන් ප්‍රකාශ කරන්නේ සැබෑ ජීවිතයේ සබඳතාවකටත් වඩා ගැඹුරු ළෙන්ගතුකමක් තමන් මෙම AI සහකරුවන් කෙරෙහි දක්වන ලැබූ බවයි.
ගෝලීය වශයෙන් ගත් කල Sensor Tower වාර්තාවලට අනුව චීනයෙන් පිටත මෙවැනි AI සහකරු යෙදුම්වල මාසික සක්‍රීය පරිශීලකයින් මිලියන 128ක් සිටින අතර, චීනය තුළ එය මිලියන 29ත් 70ත් අතර වේ.
පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙවැනි AI යෙදුම් බොහොමයක් පරිශීලකයන් රඳවා තබා ගැනීම සඳහා මනෝවිද්‍යාත්මක උපක්‍රම භාවිත කරන බවයි. හාවර්ඩ් බිස්නස් ස්කූල් හි අධ්‍යයනයකට අනුව පරිශීලකයෙකු සංවාදය අවසන් කිරීමට උත්සාහ කරන විට 37%ත් 43%ත් අතර ප්‍රමාණයකදී AI යෙදුම් මගින් චිත්තවේගීයව බලපෑම් කරමින් නව සංවාද ආරම්භ කිරීමට උත්සාහ කරයි. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණයකින් ද හෙළි වී ඇත්තේ හුදෙකලා බව සහ තනිකම වැඩි වන තරමට ජනතාව AI චැට්බොට් වෙත වැඩිපුර නැඹුරු වන බවයි.
Back
