October 24, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

1 min read

අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මාර්ගයෙන් අදාළ වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට ද නියෝග කළේය.

අද අධිකරණය හමුවේ පෙනී සිටි සෙසු විත්තිකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණය නියම කළේය.

2015 වසරේ පැවැති ජනාධිපතිවරණ සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කහවත්ත ප්‍රදේශයේ පැවැති ප්‍රචාරක රැළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබුණි.

එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාග කළ අභියාචනාධිකරණය පසුව ඔවුන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.

එම තීන්දුවට එරෙහිව අගතියට පත් පාර්ශ්වය ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක විභාගය පසුගිය සැප්තැම්බර් 4 වැනිදා අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, විත්තිකරුවන් තිදෙනාට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබුණි.

ජනප්‍රිය පුවත්  ඔන්ලයින් ණය මුදල් ලබාගන්නා අයට විශේෂ දැනුම්දීමක්

කෙසේ වෙතත්, නඩුව අද කැඳවූ අවස්ථාවේදී ප්‍රේමලාල් ජයසේකර මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. ඔහු විදේශගතව සිටින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x