විනිසුරු විශ්‍රාම වයස දික්කිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමය දෙකට බෙදේ ! සභාපති ජනපතිට කළ ප්‍රකාශය සංගමයේ නිල මතය නොවන බව කියයි !
1 min read
අධිකරණ සේවා සංගමයේ සභාපතිවරයා ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ දැමීම සම්බන්ධයෙන් විරුද්ධතාවක් නොමැති බව සඳහන් කළ බව හෙළිදරව් වීමත් සමඟ මහේස්ත්‍රාත්වරුන් හා දිසා විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් අධිකරණ සේවා සංගමය දෙකට බෙදී ඇතැයි වාර්තා වේ.
විනිසුරුවරුන්ගේ වැටුප් හා දීමනා වැඩිකිරීම සඳහා ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ දැමීම සම්බන්ධයෙන් විරුද්ධතාවක් නැති බවට අධිකරණ සේවා සංගමයේ සභාපති පසන් අමරසේන මහතා පවසා ඇතැයි බව හෙළි වීමත් සමඟ සංගමයේ සාමාජිකයන් අතර උණුසුම් තත්වයක් හටගෙන ඇති අතර එහිදී ඇති වු වාද විවාද වලින් අනතුරුව අධිකරණ සේවා සංගමය මෙලෙස දෙකට බෙදී ඇතැයි වාර්තා වේ.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ දැමීම සම්බන්ධයෙන් විරුද්ධතාවක් නැති බවට අධිකරණ සේවා සංගමයේ සභාපතිවරයා කළැ කියන සඳහන සංගමයේ සාමාජිකයන්ගේ නිල මතය නොවන බවට වාර්තාගත කිරීමට කමිටුව පියවර ගෙන ඇත.
මහේස්ත්‍රාත්වරුන් හා දිසා විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් අධිකරණ සේවා සංගමයේ සභාපති පසන් අමරසේන මහතාගේ මූලිකත්වයෙන් මාර්ගගත ක්‍රමයට පෙරේදා (06) පැවැත් වූ විධායක කමිටු රැස්වීමක දී මෙම තත්වය උද්ගත වී ඇති අතර එම විධායක කමිටු රැස්වීම සඳහා විධායක කමිටු සාමාජිකයන් 45 දෙනාගෙන් 37 දෙනක්ම සම්බන්ධ වී සිටියහ.
විධායක කමිටු රැස්වීම අතරතුර දී විනිසුරුවරුන්ගේ වැටුප් හා දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමයේ සභාපතිවරයා, ලේකම්වරයා මෙන්ම මහාධිකරණ විනිසුරු සංගමයේ සභාපති නිරෝෂා ප්‍රනාන්දු, ලේකම් චතුර ගුණතිලක සහ අධිකරණ සේවා කොමිසමේ ලේකම් ප්‍රසන්න අල්විස් යන මහත්ම මහත්මින් ජනාධිපතිවරයා සමඟ පැවැති නොනිල සාකච්ඡාවේ දී අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ දැමීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට අදහසක් ඇති බවට ජනාධිපතිවරයා පවසා ඇතැයි හෙළි වී ඇත.
ඒ අවස්ථාවේ දී ජනාධිපතිවරයා විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ දැමීම සම්බන්ධයෙන් මොකක්ද?’ යනුවෙන් අදහස විනිසුරුවරුන්ගෙන් විමසා ඇති බවත්, ඒ අවස්ථාවේ දී “අනෙක් අයටත් හැටහත වෙනකම් වැඩිවෙනවනම් ඒක අපිට ගැටලුවක් නැහැ” යනුවෙන් සංගමේ සභාපතිවරයා පවසා ඇතැයි හෙළි වී තිබෙන බවත් වාර්තා වේ.
මේ බව හෙළිවීමත් සමඟ අධිකරණ සේවා සංගමයේ සභාපති පසන් අමරසේන මහතා විධායක කමිටු සාමාජිකයන් අමතමින් ජනාධිපතිවරයා හමුවේ තමන් එවැනි ප්‍රකාශයක් නොකළ බව පවසා ඇති අතර, ඒ අවස්ථාවේ දී ඔහු සමඟ ජනාධිපතිවරයා හමුවීමට ගිය බව කියන අධිකරණ සේවා සංගමයේ ලේකම් සුරංග මුණසිංහ මහතා විධායක කමිටු සාමාජිකයන් අමතමින් සංගමයේ සභාපතිවරයා ජනාධිපතිවරයා හමුවේ එසේ පැවසූ බවට කිහිප වරක්ම ප්‍රකාශ කර ඇත.
අධිකරණ සේවා සංගමයේ සභාපතිවරයා ජනාධිපතිවරයා හමුවේ කළැයි කියන කථාව පිළිබඳ විධායක කමිටු සාමාජිකයන් අතර මත දෙකක් ඉදිරිපත් වීම හේතුවෙන් විධායක කමිටු රැස්වීමේ දී දැඩි ආරවුලක් හට ගෙන ඇති අතර මෙවැනි අවස්ථාවකදී ලේකම්වරයාට සියදිවි නසා ගැනීමේ ප්‍රකාශයක් කිරීමේ අවශ්‍යතාවක් ඇති බවට විශ්වාස කළ නොහැකි බවටත් “එවැනි දෙයක් කිව්වේ නෑ” යනුවෙන් පවසා ඔහුට පහසුවෙන්ම අත පිස දමා ගැනීමට හැකියාව තිබු බවටත් පවසමින් දෙපාර්ශවයේ සාමාජිකයන් උණුසුම් වචන හුවමාරු කර ගෙන ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරයා හමුවේදී සංගමයේ සභාපතිවරයා පවසා ඇති අදහස ඔහුගේ පෞද්ගලික අදහස මිස සාමාජිතයන්ගේ නිල අදහස නොවන බවට අවසානයේ විධායක රැස්වීමේ දී පිළිගෙන ඇති අතර, එම තත්වය වාර්තා ගත කිරීමට විධායක කමිටුව පියවර ගෙන ඇත.
ඒ සඳහා අධිකරණ සේවා සංගමයේ සභාපති පසන් අමරසේන මහතා ද එකඟතාවය පළ කර ඇත.
- මනෝප්‍රිය ගුණසේකර –
