වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 56,422ක් – මරණ 35ක්
1 min read
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 56,422 ක් හමු වී මරණ සංඛ්‍යාව 35 ක් දක්වා වැඩි වී ඇති අතර මේ නිසා ළමා රෝහල් ඇතුළු දිවයිනේ බොහෝ රෝහල් රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කරයි.
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ජනතාව කටයුතු නොකළහොත් ඩෙංගු මරණ ගැන කතා කිරීමට වනු ඇතැයි ද ඔහු අනතුරු අඟවා සිටී. ගෙවීගිය පැය 24 ක කාලයේත් ඩෙංගු රෝගීන් දහස ඉක්මවා වාර්තා වී ඇති අතර එම රෝගීන් ගණන 1025 කි.
ඩෙංගු රෝගීන්ගේ 52.47 ක්ම හමු වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. මේ වන විට කොළඹ සෞන්දර්යය විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය, කොළඹ සහ කැලණි විශ්වවිද්‍යාලවල සිසුන් අතර ද ඩෙංගු උණ වැලඳී ඇත. කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් තිස්හය දෙනෙක් උණ රෝගය වැලඳීම සැලකිල්ලට ගෙන ලබන 13 වැනිදා දක්වා විශ්වවිද්‍යාලය වසා දැමීමට පියවර ගෙන ඇත.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතර ඩෙංගු වයිරසය පැතිර යෑම සැලකිල්ලට ගෙන එම ශිෂ්‍යයන් සම්බන්ධයෙන් ගන්නා පියවර ගැන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනවිරත්නගෙන් විමසීමට උත්සාහ ගත්තත් එය සාර්ථක නොවීය.
මේ සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවෙන් කළ විමසීමේදී එහි උසස් නිලධාරියෙක් කියා සිටියේ ඩෙංගු වසංගතය හමුවේ ගන්නා තීන්දු තනි තනි වශයෙන් ප්‍රකාශයට පත් කළ නොහැකි බවය.
