රුපියල වැටීම නිසා පමණක් රු.බි. 1703 කින් ණය බර ඉහළට !
1 min read
2024 දෙසැම්බර් අවසාන වන විට ශ්‍රී ලංකාව ලබාගෙන තිබූ විදේශ ණයවල සම්පූර්ණ වටිනාකම වූයේ ඩොලර් මිලියන 36,680 ක් හෙවත් ඩොලර් බිලියන 36.68 කි. එය ඒ අවස්ථාවේ පැවති ඩොලරයක සාමාන්‍ය අගය වූ රු. 289.81 ට අනුව ගණනය කළ විට එම මුළු විදේශ ණය ප්‍රමාණය රුපියල් වලින් රු. ට්‍රිලියන 10.63 ක් හෙවත් රුපියල් බිලියන 10,630 ක් විය.
2024 දෙසැම්බර් සිට මේ දක්වා ජ.වි.පෙ. පාලනය යටතේ අලුතෙන් ලබාගෙන ඇති විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 458 කි. එනම් ඩො.බි. 0.45 කි. එය රුපියල් වලින් බිලියන 154 ක් පමණ වේ.
2024 දෙසැම්බර් සිට මේ දක්වා සමස්ත විදේශ ණයවල රුපියල්මය වටිනාකම රු.බි. 1,857 කින් ඉහල ගොස් තිබේ. ඉන් සැබෑ ලෙසම ඒ කාලය තුළ අළුතෙන් ලබාගෙන ඇති විදේශණය නිසා එකතු වී ඇත්තේ රු.බි. 154 ක් පමණි. ඉතිරි රුපියල් බිලියන 1,703 ක විදේශ ණය තොගයේ රුපියල් වටිනාකමේ දැවැන්ත වර්ධනයක් පෙන්වන්නේ පැරණි ණය තොගය වර්තමාන ඉහළ රුපියල් අනුපාතයෙන් ගණනය කිරීම හේතුකොටගෙනය.
මෙය ද ඩොලරයේ විකුණුම් මිල රු. 336.23 ලෙස සලකා සිදු කරන ගණනය කිරීමේ දී ලැබෙන පිළිතුර වේ. නමුත් අද ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වාර්තාවන්ට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 342.03 කි. එම අගය අනුව ගණනය කළහොත් රුපියල අවප්‍රමාණය වීමෙන් පමණක් 2024 දෙසැම්බර් සිට මේ දක්වා විදේශ ණය තොගයේ රුපියල් අගයේ ඉහල යාම රුපියල් බිලියන 1,703 ට ද වඩා වැඩි බව පැහැදිලි වේ.
මෙමඟින් පෙනී යන්නේ, රුපියල අවප්‍රමාණය වීම නිසා පමණක් මේ කාලය තුළ මෙරට පුරවැසියකු අළුතෙන් රුපියල් 77,409 කින් ණය ගැතියකු බවට පත්ව තිබෙන බවයි. 2024 දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා වූ කාලය තුළ රට අලුතෙන් කිසිදු විදේශ ණය මුදලක් ගෙන නැතැයි සලකා වුවද රුපියල අවප්‍රමාණය වීම නිසා පමණක් එක් ශ්‍රී ලාංකිකයකු මත පැටවී ඇති විදේශ ණය බර රුපියල් 77.400 කින් පමණ හෝ ඊටත් වඩා වැඩියෙන් ඉහළ ගොස් තිබෙන බවයි.
මෙමගින් රජයට අවශ්‍ය රුපියල් ආදායමේ වටිනාකම ද ඉහළ අතර, එම අතිරේක වටිනාකම සොයාගැනීමට තව තවත් බදු පැටවීම හෝ බදු පරිමාව පුළුල් කිරීම වැනි පියවර මිස වෙනත් පියවරක් නැති තත්වයට රජය ඇද වැටේ. ආනයනික භාණ්ඩ හා සේවාවල රුපියල්මය වටිනාකම ද ඒ මත දිගින් දිගට ඉහල යාම ද සිදුවේ.
එමගින් රුපියල් අර්බුදයක්ද ජනිත වීමේ අවධානම ඉහල ගොස් තිබෙන බව මූල්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.
- රවී ජයසිංහ –
