July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාලිමාවේ ‘ලස්සන ජීවිතය’ ගොවියා මහමඟට ඇද දමලා.. රනිල් – ජේ. ආර්. ගිය නව ලිබරල් මඟ යමින් මාලිමා රජය ගොවි ජනතාව පාවා දීලා.. – ජයන්ත සමරවීර

1 min read

වත්මන් ජාතික ජන බලවේග (මාලිමා) ආණ්ඩුව බලයට පත් වුණේ මේ රටේ පොදු ගොවි ජනතාවගේ සහ වැඩකරන ජනතාවගේ කරමතින් වුවද, බලයට පත්වූ වහාම ඔවුන් ගොවියා පාවා දී මහා පීඩාවකට ඇද දමා ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා චෝදනා කරයි. බත්තරමුල්ලේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ, “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” දෙන බව කියා බලයට පැමිණි පාලකයින් අද වන විට රටේ සමස්ත ගොවි ජනතාවම හිඟමනට පත් කර මහමඟට ඇද දමා ඇති බවයි.

විශේෂයෙන්ම, මේ දිනවල වී ගොවියා බරපතල අර්බුදයකට මුහුණ දී සිටින බව පෙන්වා දුන් සමරවීර මහතා, මහ කන්නයේ අස්වැන්න පවා විකුණාගත නොහැකිව නිවෙස්වල ගොඩගැසී තිබියදී, මේ වන විට යල කන්නයේ අස්වැන්න ද නෙළීමට පටන්ගෙන ඇති බව සඳහන් කළේය. වත්මන් රජය යටතේ ගොවියාට තමන්ගේ වී කිලෝවක් අලෙවි කිරීමට සිදුව ඇත්තේ රුපියල් 70, 80 සහ 90 වැනි සොච්චම් මිලකට බවත්, වගාවට අවශ්‍ය පොහොර ටික නොමැතිව සහ අස්වැන්නට සාධාරණ මිලක් නොමැතිව ගොවීන් රට පුරා වීදි සටන්වල නිරත වන බවත් ඔහු පැවසීය.

රටේ ජනාධිපතිවරයා, කෘෂිකර්ම අමාත්‍යවරයා සහ වෙළඳ අමාත්‍යවරයා යන තිදෙනාම රජරට ගොවි පවුල්වලින් පැමිණි, ගොවියාගේ දුක හොඳින්ම හඳුනන අය බව පැවසූ ජයන්ත සමරවීර මහතා, ගොවි ජනතාව ඔවුන් කෙරෙහි තැබූ විශ්වාසය අද වන විට සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇතැයි ද කියා සිටියේය.

“ගොවියාගේ කරමතින් බලයට ඇවිත්, අද ගොවියාගේ ප්‍රශ්න විසඳන්න බැරි වුණාම ආණ්ඩුව නිකන් මඤ්ඤං කතා කියනවා. එක් පැත්තකින් වෙළඳ අමාත්‍යවරයා කියනවා රාජ්‍ය සේවකයන්ට හාල් කිලෝ 20 ගානේ කල්බදු ක්‍රමයට දෙනවා කියලා. ඒක කැබිනට් මාධ්‍ය ප්‍රකාශකගෙන් ඇහුවහම කියනවා එහෙම එකක් නැහැ, ඒක යෝජනාවක් විතරයි කියලා. දකුණු අත කරන දේ වම් අත දන්නේ නැති ආණ්ඩුවක් මේක,” යැයි ඔහු ප්‍රකාශ කළේය.

ජනප්‍රිය පුවත්  අත්අ­ඩං­ගු­වට ගත් පුද්ග­ල­යෙ­කුට, හක්ක පනි­න්න ගහපු කොළඹ අප­රාධ කොට්ඨා­සයේ පොලිස් පරීක්ෂක ජයතිලක රටින් පැනලා

රජයට සිය පොරොන්දු ඉටු කිරීමට නොහැකි වීමෙන් හටගත් ආතතිය නිසා, ඔවුන් දැන් ගොවි ජනතාවට තර්ජනය කරමින් සහ අපහාස කරමින් සිටින බව සමරවීර මහතා පෙන්වා දුන්නේය. පොළොන්නරුවේ උපන් රාජ්‍ය නායකයෙකු ගොවීන්ව “කසිප්පුකාරයින්” ලෙස හඳුන්වද්දී, කෘෂිකර්ම අමාත්‍යවරයා “ගොවියා මඩ සෝදාගත් කල රජකමටත් සුදුසුයි” යන ඓතිහාසික ප්‍රස්තාව පිරුළ “පචයක්” ලෙස හෑල්ලුවට ලක් කර ඇති බවට ඔහු චෝදනා කළේය.

එසේම, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා රොබට් නොක්ස්ගේ “එදා හෙළදිව” කෘතිය වැරදියට අර්ථකථනය කරමින්, එම ප්‍රස්තාව පිරුළ අදාළ වන්නේ උඩුනුවර සහ යටිනුවර උසස් කුලවල ගොවියන්ට විතරක් බව ප්‍රකාශ කරමින්, සමාජයෙන් තුරන් වෙමින් පවතින “කුලවාදය” නැවත කරළියට ගෙනවිත් ඇතැයි ඒ මහතා දැඩිව විවේචනය කළේය. නූතන මනුෂ්‍යත්වය ගැන කතා කළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අද ගොවියා පහත් කර සැලකීමට කුලවාදය පාවිච්චි කිරීම පිළිකුල් සහගත බව හෙතෙම සඳහන් කළේය.

ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙන්නේ මාලිමා ආණ්ඩුව ගමන් කරමින් සිටින්නේ ජේ.ආර්. ජයවර්ධන සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් හඳුන්වා දුන්, ගොවියාව අනාථ කළ ‘නව ලිබරල්වාදී’ විවෘත ආර්ථික ගමනෙම බවයි. මෙම ආර්ථික ප්‍රතිපත්තිය තුළ ගොවියාට කිසිදා සාධාරණ මිලක් හෝ ලස්සන ජීවිතයක් අත් නොවන බවත්, පෙරදා මාධ්‍යයට සහ ජනතාවට හිතකාමී වූ ලාල් කාන්ත වැනි නායකයින් අද ජනතාවට සහ මාධ්‍යයට හතුරන් වී ඇත්තේ මේ ආර්ථික ගමනේ ඇති වූ අර්බුදය නිසා බවත් ඔහු කීය.

ජනප්‍රිය පුවත්  සුරේෂ් සලේගේ මෝසම කැඳවයි

ගොවි ජනතාව මුහුණ දෙන මෙම ඛේදනීය තත්ත්වයෙන් ඔවුන් මුදාගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණ විසින් රජයට යෝජනා මාලාවක් ඉදිරිපත් කරනු ලැබීය. එහි පළමු පියවර ලෙස ගොවියාගේ වී තොග නිවෙස්වල තිබියදී පිටරටින් සහල් ආනයනය කිරීම මුළුමනින්ම නතර කළ යුතු බවත්, පසුගියදා සහල් මෙට්‍රික් ටොන් 45,000ක් රට තුළට ගෙන්වීම වී මිල පහත වැටීමට ප්‍රධාන හේතුව වූ බවත් පෙන්වා දෙන ලදී. දෙවැනිව, පාරිභෝගිකයා සහ ගොවියා යන දෙදෙනාම රැකෙන පරිදි සහල් සඳහා ස්ථාවර පාලන මිලක් නියම කළ යුතු අතර, සහල් වෙළඳපොළ පාලනය කිරීම සඳහා වත්මන් යල කන්නයේ සමස්ත වී නිෂ්පාදනයෙන් අවම වශයෙන් 10%ක් (දහයෙන් එකක්) වත් වී අලෙවි මණ්ඩලය හරහා රජය සෘජුව මිලදී ගත යුතු බව අවධාරණය කෙරිණි.

මීට අමතරව, ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඩු වීමේ වාසිය ගොවියාට ලබා දෙමින් කෘෂිකාර්මික යෙදවුම්, තෙල් සහ පොහොර මිල උපරිමයෙන් අඩු කළ යුතු බවත්, ණය බර නිසා වැසී ගොස් ඇති කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් නැවත පණගැන්වීම සඳහා ‘ගොවිජන බැංකුව’ හෝ ‘සමෘද්ධි බැංකුව’ හරහා සහන පොලී යටතේ කාරක ප්‍රාග්ධනය සැපයිය යුතු බවත් යෝජනා කෙරිණි. එමඟින් වී ගොවියාම සහල් නිෂ්පාදකයා බවට පත් කළ හැකි බව සමරවීර මහතා පැවසීය.

රටේ බෝ නොවන රෝග සහ දරුවන්ගේ ස්ථූලතාවය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වන පාන් පිටි පරිභෝජනය අධෛර්යමත් කර, දේශීය හාල් පිටි පරිභෝජනය ප්‍රවර්ධනය කිරීමට රජය වහා මැදිහත් විය යුතු බව ද මෙහිදී ප්‍රකාශ විය. බත සපයන ගොවියා මඩ සෝදාගත් කල රජකමට සුදුසු බව අදටත් වලංගු සත්‍යයක් බවත්, ගොවියාට කරන අපහාස නින්දා වහාම නතර කර මෙම යෝජනා ක්‍රියාත්මක කරමින් ගොවි ජනතාවට ජීවිතය ලබා දීමට ආණ්ඩුව වහා මැදිහත් විය යුතු බවත් ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ජනප්‍රිය පුවත්  විථි ලාම්පුවල මුදලත් ජනතාවගේ බිලට!

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි මහතා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සමරවීර මහතා කියා සිටියේ, සලෙයි මහතාට CIDය තුළ සිදුවූ වදහිංසා සහ නින්දාවන්ට එරෙහිව තමන් දිගින් දිගටම හඬ නැඟූ බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට සහන ලැබුණු බවත්, නීතිඥ උපදෙස් මත ඔහු උපවාසය අත්හැරියත්, පරීක්ෂණ නතර කරන ලෙස තමන් කිසිවිටකත් නොඉල්ලූ බවත් ඔහු පැවසීය. ත්‍රස්තවාදය පරාජය කිරීමට කැපවූ වීරවරයෙකුට අවම මනුෂ්‍යත්වයක් ලබා දෙමින් විමර්ශන කළ යුතු බව පැවසූ ඒ මහතා, සලෙයි මහතා “නහයෙන් කෑවා, දැන් කටින් කනවා” යැයි කියමින් කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා කරන ප්‍රකාශ සිනහවට කරුණක් බවත්, ත්‍රස්තවාදය පරාජය කිරීමට එදා මහින්ද රාජපක්ෂ මහතා මෙහෙයවූයේ ද වත්මන් මාලිමා නායකයින්ගේ එදා දේශපාලන ව්‍යාපාරය (ජවිපෙ) බව නලින්ද ජයතිස්ස මහතාට අමතක වී ඇතැයි ද පවසමින් මාධ්‍ය සාකච්ඡාව අවසන් කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x