බර ඛනිජ වැලි කොල්ලයට ලන්ඩන් සමාගමක් හඳුන්ව මිලදී ගනී !
1 min read
අම්පාර දිස්ත්‍රික්කයේ ඔලුවිල් සිට පානම දක්වා වර්ග කිලෝමීටර් 700 කට වඩා වැඩි (කොළඹ දිස්ත්‍රික්කයටත් වඩා විශාල) වෙරළ සහ මුහුදු කලාපයක් ආවරණය වන පරිදි එහි ඇති ඉල්මනයිට්, රූටයිල්, සර්කොන් සහ ගානට් වැනි අතිශය වටිනා බර ඛනිජ වැලි කැණීම් ව්‍යාපෘතියකට “කැපිටල් මෙටල්ස්” නැමැති විදේශ සමාගමක් කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්තිව එකඟකරවාගෙන ඇතැයි අප වෙත වාර්තා වේ.
මෙම සමාගම ලන්ඩන් කොටස් වෙළඳපොලේ ලියාපදිංචි සමාගමකි. මීට පෙර එම සමාගම පැවැතී ඇත්තේ “Equatorial Palm Oil Company” යන නමිනි. බටහිර අප්‍රිකාවේ පිහිටි ලයිබීරියාවේ වූ එරට ජනතාවට අයත් පාරම්පරික ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන වනාන්තර සහ ගොවිබිම් විනාශ කරමින් මහා පරිමාණ කටුපොල් වගාවක නිරතව ඇත්තේ එම සමාගමයි. මහජන විරෝධය මත ලයිබීරියාවෙන් පලාගිය මෙම සමාගම, පසුව වෙස් මාරු කර ලියාපදිංචි වී ඇත්තේ Capital Metals PLC යනුවෙනි.
එම සමාගමේ වාර්තාවන්ට අනුව, අප ඉහත දක්වා ඇති ප්‍රදේශයේ ඇති වටිනා බර ඛනිජ වැලි වසර 10 ක් තුළ මෙට්‍රික් ටොන් 17.2 ක් ඉවත් කරගැනීමට සැලසුම් කර තිබේ. එමඟින් ඩොලර් බිලියන 1 කට වඩා වැඩි ආදායමක් 98% කට ආසන්න ලාභ ප්‍රතිශතයක් හිමිකරගත හැකි බවද එම වාර්තාවන් හි දක්වා තිබේ. මෙම බර ඛනිජ වැලි ලොව දියුණුම අභ්‍යවකාශ, ආරක්ෂක සහ පුනර්ජනනීය බලශක්ති කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය වේ. වසර 10 පුරාම ශ්‍රී ලංකා රජයට “රාජ්‍ය පංගුව” ලෙස හිමිවන්නේ ඩොලර් මිලියන 10 ක් වැනි සුළු මුදලකි.
මෙම ආයතනය මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇත. මේ වන විටත් උක්ත ප්‍රදේශයේ පාසල් වෙත ගොස් විවිද පරිත්‍යාග කිරීමට ඔවුන් පියවර ගෙන තිබේ. අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සමග අප්‍රකට සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇති එම සමාගමේ දේශීය නියෝජිතයන් එකී සාකච්ඡා සාර්ථක බව තම සමීපතමයන් හා පවසා තිබේ. එම සාර්ථකත්වය සඳහා සෑහෙන වියදමක් ගිය බවද ඔවුන් අතර සාකච්ඡා වී තිබේ.
පසුගියදා ශ්‍රී ලංකා වාණිජ සංගමය හා මිනිරන් ටෙක්නෙලොජීස් නැමැති ආයතන එක්ව සංවිධානය කර තිබූ “MINERAL SANDS – TECHNICAL CONFERENCE” ද පසුපසින් සිට මෙහෙයවා ඇත්තේ මෙම සමාගමේ මුදලනි. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ය.
මේ සමග දැක්වෙන්නේ අදාළ සමාගමේ ප්‍රතිරූපය වර්ධනය කරගැනීම පිණිස සිදුකෙරෙන කටයුතු වල ඡායාරූපය.
- ජීවක එදිරිවීර –





