July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩෙංගු වැළඳෙන දරුවන්ට පසුකාලීනව විවිධ සංකූලතා ඇතිවීමේ අවදානමක්

1 min read

මේ දිනවල ළමුන් අතර ඩෙංගු රෝගයේ ව්‍යාප්තියක් දක්නට ලැබෙන බවත්, රෝගය වැළඳෙන දරුවන්ට පසුකාලීනව විවිධ සංකූලතා ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බවත් සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ ඩෙංගු රෝගය හේතුවෙන් දරුවන්ට පසුකාලීනව මොළයට බලපෑම් ඇතිවිය හැකි අතර පේෂි සහ අස්ථිවල දැඩි කැක්කුමක් මෙන්ම හෘද වස්තුවටද බලපෑම් එල්ල වීමේ ප්‍රවණතාවයක් පවතින බවය.

සාමාන්‍යයෙන් ඩෙංගු වැළඳී දින හතක් අටක් ගතවන විට දරුවා සුවපත් වීමේ ලක්ෂණ ලෙස ආහාර රුචිය වැඩිවීම, සිනාසීම වැනි තත්ත්වයන් මතුවන නමුත්, එවැනි සුවපත් වීමේ ලක්ෂණ නොපෙන්වා දරුවාට දිගටම උණ පවතී නම් එය HLH නමැති ප්‍රතිශක්තිකරණයේ උණතාවය විය හැකි බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට අමතරව දරුවන් මදුරු දෂ්ටනයෙන් බේරාගැනීම සඳහා සවස් කාලයේ පස්වරු 5.00 ත් 7.00 ත් අතර කාලය තුළ නිවසේ ජනේල වසා දැමීමට පියවර ගන්නා ලෙසත් දරුවන්ට අත් දිග කමිස සහ දිග කලිසම් ඇන්දවීමත් සිදුකළ යුතු බවත් වෛද්‍යවරයා මෙහිදී පැවසීය.

ජනප්‍රිය පුවත්  කටුනායකින් පිටත්වූ මගී ගුවන්යානයක කුරුල්ලෙක් ගැටෙයි

එමෙන්ම වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පවසන්නේ ඩෙංගු රෝගය තවමත් මාරාන්තික විය හැකි බැවින් මේ පිළිබඳව දැඩි ලෙස අවධානය යොමුකරන ලෙසය.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කරන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා.

“මේ දිනවල ළමුන් අතර ඩෙංගු රෝගය අපි දකිනවා. මදුරුවෝ බෝවෙන ස්ථාන අවම කරනවා වගේම මදුරුවෝ දෂ්ට කිරීමත් අවම කරන්න අපි කටයුතු යොදන්න ඕනේ. හවසට පහ හත අතර පුළුවන් තරම් ඉක්මනට ඒ ජනේල් වහලා මදුරුවෝ ගෙය ඇතුළට එන එක වළක්වා ගන්න. ඊට අමතරව අත් දිගට කමිසයක්, කලිසමක් ඇඳගෙන ඉන්න පුළුවන් නම් දිගට මදුරුවෝ දෂ්ට කිරීම අවම කරගන්නත් පුළුවන් දරුවන්ට විශේෂයෙන්ම. ඩෙංගු රෝගය හැදුනොත් රෝග ලක්ෂණ විදිහට උණ සමඟ ඇස් යට කැක්කුම, හිසරදය, ඇඟපත රිදෙන එක, හන්දි කැක්කුම වගේ රෝග ලක්ෂණ තමයි අපි සාමාන්‍යයෙන් දකින්නේ. හැබැයි ඩෙංගු වලින් සංකූලතා කීපයක් පසුගිය දිනවල අපි දැක්කා.

විශේෂයෙන්ම ඩෙංගුවලට පසුකාලීනව මොළයට බලපෑමක් ඇතිවෙන්න පුළුවන් සමහර වෙලාවට කලාතුරකින්. දෙවනුව, ඩෙංගු නිසා පේෂිවලට බලපෑමක් ඇතිවෙන්න පුළුවන්, තද පේෂිවල අස්ථිවල කැක්කුමක් ඇතිවෙන්න පුළුවන්. තුන්වනුව, ඩෙංගු නිසා හෘදය වස්තුවට බලපෑම් ඇතිවෙන්න පුළුවන්. ඊටත් අමතරව කලාතුරකින් ඩෙංගු හැදුනාට පස්සේ දිගටම උණ තියෙන්න පුළුවන් ප්‍රතිශක්තිකරණයේ යම්කිසි අඩුවක් ඇතිවෙන්න පුළුවන්. ඉතින් ඒක විශේෂ රෝගී තත්ත්වයක්.”

ජනප්‍රිය පුවත්  ආනයනික කිරිපිටි මිල ඉහළට

“ඩෙංගු සාමාන්‍යයෙන් හැදුනාට පස්සේ දවස් හතක් අටක් වෙනකොට ඉතින් හොඳ වෙනවනේ. ඩෙංගු හොඳ වෙනකොට ළමයාගේ ආහාර රුචිය වැඩිවෙනවා, ළමයා හිනාවෙනවා, රෑෂ් එකක් ඇතිවෙනවා, කසන්න ගන්නවා අත් කකුල්. අන්න එහෙම තත්ත්වයක් එන්නේ නැතුව දිගටම උණ පවතිනවා ළමයා ලෙඩ තත්ත්වයෙන් පවතිනවා. එහෙම තත්ත්වයක් දිගට තියෙනවා නම් සමහර වෙලාවට මේක HLH කියන ඒ ප්‍රතිශක්තිකරණයේ උණතාවය ඇතිවීම ඇතිවෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයකදී අපි CPK කියන ඒ පරීක්ෂණය කරනවා. ඒක ගොඩක් වැඩිවෙන්න පුළුවන්. ඒකට අපි පොඩ්ඩක් කලබල වෙන්නත් එපා. එහෙම වුණොත් විවේකය ඉතාමත් අවශ්‍යයි. ස්වභාවික සුදු පාට දියර වර්ග දරුවන්ට බොන්න දෙන්න. මඟින් මේ තත්ත්වයන් අවම කරගන්න පුළුවන්.

ඊට අමතරව රුධිර පට්ටිකා 150ට වගේ අඩු වුණොත් සමහර වෙලාවට අපිට මේ දරුවාව ඇතුළු කරලා පරීක්ෂණ කරලා බලන්න වෙනවා. ඩෙංගු රක්තපාත උණ තත්ත්වය හරි ඩෙංගු කම්පන තත්ත්වයන් වගේ තියෙනවා නම් කොහොමත් රෝහලක පරීක්ෂා කරලා, රෝහලක පැය 48ක් හෝ ඊට වැඩි දවස් ගානක් අපිට දරුවාව බලාගන්න වෙනවා. ඉතින් ඩෙංගු තාමත් මාරාන්තිකයි, මේ කාලේ ඩෙංගු රෝගීන් අපි වැඩිපුර දැකපු නිසා.”

ජනප්‍රිය පුවත්  කරුණා අම්මාන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් | සලේ ගැනත් කියලා

මේ අතර ගතවු දිනයේදී ඩෙංගු රෝගීන් 1200 දෙනෙකු පමණ හදුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

මේ වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 57,668 දෙනෙකු වාර්තා වී ඇති අතර වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බව එම ඒකකය පෙන්වා දී ඇත.

අද දිනයේත් ප්‍රදේශ කිහිපයක ඩෙංගු මර්ධන වැඩසටහන් පැවැත්වුනු අතර එහිදී රජයේ ආයතනවල මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂාවට ලක් කෙරිණි

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x