කිකිලිගේ බිත්තරය
1 min read
කිකිලිය බිත්තරයක් දැම්මාම ගමම දන්නවා, එළදෙන කිරි කලයක් දුන්නත් සද්දයක් නැතැයි කීවේ අපේ පැරැන්නන් ය.
කැණහිලා අලියෙක් විඳලා වගේ පපුව පුම්බනවායැයි පැරැන්නෝ කීවේ ඉතා සුළු, නොවැදගත් දෙයක්කර මහා වීරකමක් කලා සේ උඩගු වන උන්දැලා ගැනය.
මේ ඡායාරූපය අයත්වන්නේ එබඳු කැණහිලෙකුට ය. පසුගිය සිංහල අළුත් අවුරුද්දට පෙර, “දිට්වා” කුණාටුවෙන් විනාශ වූ නුවර – කොළඹ රේල් පාර සාදා නිමකරනවායැයි කීවේ මේ ඡායාරූපය දිහා බලාගෙන පපුව පුම්බන ඒ කැණහිලාම ය. දැන් ඒ කැණහිලා කොළඹ නුවර තාර පාරේ බර වාහනයක දාගෙන රැගෙන යන කෝච්චි පෙට්ටිය දැක පපුව පුම්බා ඇත්තේ මෙසේය.
” මිනිස්සු තමයි අභියෝග බාරගන්නෙ…!
මිනිස්සුම තමයි හාස්කම් පෙන්වන්නේ…!
මිනිස් හයියෙන් තමයි
මේ හැම දේම ගොඩනැගෙන්නේ…!
හැකිනම් කරනු…!! නොහැකිනම්
කෙසේ හෝ කරමු…!!
නුවරින් පළමු දුම්රිය මැදිරිය පටවයි…!!
මෙහෙම ලියා ඇත්තේ ප්‍රවාහන හා මහා මාර්ග, නාගරික සංවර්ධන ඇමැති බිමල් රත්නායක ය. කිකිලිය බිත්තරයක් දැම්මම ද කරන්නේ මෙහෙවු කොක් හඬ ලෑමක් ය.
බිමල්ලා මේ උදම් අනන්නේ කෝච්චි පාරේ යා යුතු කෝච්චි පෙට්ටියක් වාහනයක පටවා මහ පාරේ රැගෙන යන එක ගැනය. බිමල් ඇමති වී ඉන්නේ, ක්‍රි.පූ. 161 – 137 අතර කාලයේ මහල් නවයක මන්දිරය වූ ලෝවාමහාපාය (ලෝහ ප්‍රාසාදය) ඉදිකළ රටේ ය. එහි වහලය තඹ සහ බෙලෙක් මිශ්‍ර ලෝකඩ වලින් සාදා තිබූ නිසා එයට කීවේ “ලෝවාමහාපාය” කියාය. එහි එක් එක් මහලෙහි කාමර 100 න් බැගින් විය. දිගින් හා පළලින් අඩි 400 ක් වූ එම ගොඩනැගිල්ල එක් පේළියකට 40 බැගින් වූ ගල්කණු 1600 ක් මත රඳවා තබා තිබුණා ය.
බිමල්ලා ඒ කාලේ හිටියානම් ගන්න චූන් එක අපට නම් හිතාගන්නටවත් බැරිය.
දැනට සොයාගෙන තිබෙන ලොව ඉපැරණිතම රෝහල වන්නේ මිහින්තලා මහ රෝහල ය. පුරාවිද්‍යා සාධක සහිතව වෙනත් ඊට වඩා පැරණි හා විධිමත් රෝහල්, සංකීර්ණයක් ලොව කොතැනින්වත් හොයාගෙන නැත්තේ ය.
ගෘහ නිර්මාණ සැලැස්මට අනුව, දිගින් මීටර් 118.6 ක් සහ පළලින් මීටර් 97.6 ක් වන මෙම රෝහල් සංකීර්ණයේ බාහිර රෝගී අංශයක් (Outer Court) ද සහ නේවාසික රෝගී අංශයක් (Inner Court) ද ඇත්තේ ය. රෝහල මධ්‍යයේ පිහිටි බුදු මැදුරක් (පිළිම ගෙයක්) වටා රෝගීන්ට රැඳීසිටීම පිණිස කුටි 31 ක් ද ඒ තුල පැවතියේ ය. ඖෂධ සකස් කරන කාමර, ඖෂධ ගබඩා, උණු වතුර සහ වාෂ්ප ස්නානය සඳහා වූ ජන්ථාඝරයක් (Steam Bath) මෙන්ම මුළුතැන්ගෙයක් ද එහි ඇත්තේ ය.
බිමල්ලා එකල සිටියේ නැත. සිටියානම් වෙන්නේ කුමක්දැයි හිතාගන්නටවත් බැරිය.
මහා ස්තූප, එකල ලොව පැවති විශාලතම ගඩොලින් කළ ඉදිකිරීම වූ ජේතවනාරාමය (එය දෙවැනි වූයේ ඊජිප්තුවේ පිරමීඩවලට පමණී) රුවන්වැලි මහා සෑය සහ අභයගිරිය ද වැනි මහා වාස්තුවිද්‍යා නිර්මාණ බිහි කරන ලද සමයේ බිමල්ලා සිටියේ නැත. සිටියේ නම් මොනවයි මොනවා වේදැයි හිතා ගන්නටවත් අමාරු ය.
වියළි කලාපයේ ජල කළමණාකරණය සඳහා තැනූ බිසෝ කොටුව, ඇල මාර්ග සහ මහ වැව් පද්ධති, සැතපුමකට අගලක් වැනි ඉතා සියුම් බෑවුමක් සහිත මයිල 50 කට වඩා දිවෙන ජය ගඟ (යෝධ ඇළ) අපේ පැරැනෝ නිර්මාණ කරන ලද අතීතයේ මේ බිමල්ලා හිටියේ නැත. හිටියානම් ගන්න චූන් එක හිතාගන්නටවත් අමාරු ය. සීගිරිය නැමැති මනරම් නගර සැලසුම්කරණය, අහස් මාළිගා තාක්ෂණය, සිංහ පියගැටපෙළ, සීගිරි ලඳුන්ගේ සිතුවම් පෙළ සහ අදටත් ක්‍රියාත්මක දිය උල්පත් පද්ධතිය නිමවන කාලයේ මේ බිමල්ලා හිටියේම නැත. සිටියානම් ගන්නේ කුමන වර්ගයේ ආතල් එකක්දැයි හිතාගන්නටවත් බැරිය.
එපමණක් ද නොවේ, මුන්දැලා අධි-වේගී පාරක් හෝ “පෝර්ට් සිටි” ය වැන්නක් හෝ හදපු දවසකට රටේ වසන්නටද අපට බැරි විය යුතුය. ඒ සඳහා සතියක සාද කාලයක් වුව ප්‍රකාශයට පත්කරන්නට ඉඩ තිබේය.
පිරුණු කලගෙඩියක හඬක් නැත. හඬ ඇත්තේ හිස් කලගෙඩියේ ය. ඊශොප්ගේ උපමා කතාවල “ගෙම්බා අලියා වෙන්න ගියා වගේ” යැයි කියන්නේ මෙහෙවු උන් ගැනය. මේවා වැහි නැතිදාට ගහන අකුණු ය. ඇත්තේ සද්දේ විතරම ය.
මේ ගැන අප කලබල විය යුතු නැත. එළුවා තණකොළ කනකල් සිටිය යුතුය. වෘකයා හෝ දඩයක්කාරයා සිතන්නේ එහෙම ය.
කඹේ ඇත්තේ දිගහැරලා ය. බිමල්ලා මායාවෙන් උඩපනින විට, උන්දැලාට ඕන හැටියකට නටන්න ඉඩ හැරිය යුතුය. කඔය ඇත්තේ දිග හැර බැවින් සුදුසු මොහොත පැමිණි විට, කළ යුතු දේ කළ හැකිය.
සෙස්ස ඇත්තේ ඉන් පස්සේ ය.