September 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කැන්දා ගිය නන්දා

1 min read


තාලපුට නම් නළුවා බුදුන් වහන්සේ බැහැ දැක රඟපෑමෙන් මිනිසුන් හිනස්සන නළුවන් මරණින් මතු දිව්‍ය ලෝකයේ යනවාද යනුවෙන් විමසුවේය. එවිට ගෞතම බුදුරජාණන් වහන්සේ පවසා සිටියේ සැබෑ සත්‍යය එය නොවන බවය. කලාව හරහා මිනිසුන්ගේ මනස තවදුරටත් මෝහයෙන් (මුලාවෙන්) අන්ධ කරන්නේ නම්, එයින් සසර දික්වන බව උන්වහන්සේ පැහැදිලි කළහ. මේ බව දැක්වෙන්නේ තාලපුට සූත්‍රයේය.

අප මහා බුදුරජාණන් වහන්සේ ජීවිතයේ සහ පරිසරයේ පැවති විරාගී සුන්දරත්වය (Tranquil Beauty) මැනවින් අගය කළහ. මහා පරිනිබ්බාන සූත්‍රයේ උන්වහන්සේ” ආනන්දය, චාපාල චෛත්‍යය රමණීයයි, සාරන්දද චෛත්‍යය රමණීයයි” යනුවෙන් පැවසූ වග සඳහන්ව ඇත්තේ ඒ බව සනාථ කරමිණි. රහතන් වහන්සේලා රහත් මෙහෙණින් වහන්සේලා විසින් දෙසන ලද ”තේරි – තේරී ගාථා” දෙස බැලීමෙන් උසස් සාහිත්‍යමය සහ සෞන්දර්යාත්මක රසය බුදු දහම තුළ අනුමත කර තිබෙන බව පෙනේ. නමුත් එම රසය කාම රසයෙන් තොර මනස නිවාලන විරාගී රසයක් බව පැහැදිලිය

විනය පිටකයට අනුව භික්‍ෂූන් වහන්සේලා වැඩ සිටින ආරාමයන්හි ස්ත්‍රී-පුරුෂ කාමරූප ඇඳීම තහනම් කළ බුදුරජාණන් වහන්සේ මල්කම්, ලියකම් සහ මකර දත් වැනි කලාත්මක සැරසිලි කිරීමට භික්‍ෂූන්ට අවසර දුන්හ. මනස සන්සුන් කරන ශ්‍රද්ධාව වඩවන සිතුවම් කලාව උන්වහන්සේ ප්‍රතික්ෂේප නොකළ බව ඒ අනුවද පැහැදිලි වේ .

සසර කෙටිකර ගැනීමට උත්සාහ කරන භික්ෂූන් සහ අටසිල් සමාදන්වන අය සඳහා පමණක් උන්වහන්සේ නෘත්‍ය, ගීත, වාදිත සහ විසූකදස්සන වලින් වැළකීමේ ශික්‍ෂාපදය පැනවූහ. නමුත් පංච සීලය රැකිය යුතු යැයි කී ගිහියන්ට එම ශික්‍ෂා පදය අදාළ කළේ නැත.

ජනප්‍රිය පුවත්  ශානිගේ පානිය


මිනිසා සන්සුන් කරන ධර්මය වටහා ගැනීමට උපකාරී වන ප්‍රඥාව වඩවන කලාව බුදු දහම තුළ අගය කෙරේ. මිනිසා ප්‍රමාදයට පත්කරන හා කෙලෙස් වඩන කලාව සසර දුකට හේතු වන බව බුදුන් වහන්සේ දේශනා කළහ.

නන්දා මාලනිය අප පසුකර පැමිණි දශක කිහිපය තුළ ගායන ශිල්පිනියක් ලෙස ස්ථානගත වූයේ කොතැන ද? ඇය, මිනිසා සන්සුන් කරන? ධර්මය වටහාගැනීමට උපකාරී වන, ප්‍රඥාව වඩවන කලාව නියෝජනය කරන ලද ශිල්පිනියක් වූයේද? නොඑසේ නම් ඊට ප්‍රතිවිරුද්ධ භාවිතයක ඇය නියැළී සිටියේ ද? සරල ලෙස පෙනී යතත් මේ අප ඉදිරියේ වන ඉතා ගැඹුරු ප්‍රශ්නාර්ථයක් වේ.

අංගුත්තර නිකායට අයත් කාලාම සූත්‍රයෙහි යමක් පිළිබඳව තීරණය කළ යුතු ආකාරය පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කර තිබේ. කේසයුත්ත නියම්ගමෙහි වැසියන් වූ කාලාමවරුන් විවිධ ශාස්තෘවරුන්ගේ පරස්පර දේශනා නිසා මුලාවට පත්ව සිටි අවස්ථාවේදී බුදුන් වහන්සේ කරුණු 10 ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ යමක් පිළිගැනීමට ප්‍රතික්ෂේප කිරීමට එම කරුණු දහය පමණක් නිර්ණායක කරගන්නා ලෙසයි. උන්වහන්සේ ප්‍රතික්ෂේප කළ වැරදි නිර්ණායක 10 මෙසේ වේ.

  1. අනුස්සවේන: අනුශ්‍රවයෙන් හෙවත් ප්‍රවාදයෙන් පැවත ආ පලියට පිළිගන්න එපා.
  2. පරම්පරාය: පරම්පරාවෙන් ආ පිලියට පිළිගන්න එපා.
  3. ඉතිකිරාය: “මෙය මෙසේ ය” යැයි කියන කටකතා හෝ ආරංචි නිසා පිළිගන්න එපා.
  4. පිටකසම්පදානේන: තමන්ගේ ආගමික ග්‍රන්ථවල (පිටකවල) තිබූ පලියට පිළිගන්න එපා.
  5. තක්කහේතු: හුදු තර්කයට ගැලපෙන පළියට පිළිගන්න එපා.
  6. නයහේතු: න්‍යායන්ට (දර්ශනවලට) ගැලපෙන පළියට පිළිගන්න එපා.
  7. ආකාරපරිවිතක්කේන: පෙනෙන හැඩරුව හෝ ස්වභාවය ගැන සිතා පිළිගන්න එපා.
  8. දිට්ඨිනිජ්ඣානඛන්තියා: තමන් පෙර සිට දැරූ මතවාදයට එකඟ වූ පළියට පිළිගන්න එපා.
  9. භබ්බරූපතාය: කියන තැනැත්තාගේ පෙනුම හෝ දක්ෂතාවය නිසා පිළිගන්න එපා.
  10. සමණෝ නෝ ගරූති: මේ ශ්‍රමණයන් වහන්සේ අපේ ගුරුවරයා යැයි සිතා(බුදුන්වහන්සේ ගැන වුවද) අන්ධව පිළිගන්න එපා.
ජනප්‍රිය පුවත්  ප්‍රොපට් ජෙරම්ගේ දිව්‍ය රාජ්‍යයට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු !

මෙම කරුණු 10 ප්‍රතික්ෂේප කළ බුදුරජාණන් වහන්සේ, නියම ආකාරයයැයි පැවසුවේ මෙසේය.
කාලාම වරුනි යම් දිනක ඔබ විසින්ම ස්වයංව අවබෝධ කරගන්නවාද (යදඤ්ඤාථ තුම්හේ)මේ දේවල් අකුසල් සහගත යැයි (ඉමේ ධම්මා අකුසලා) මේවා වැරදි/දොස් සහිතයි (ඉමේ ධම්මා සාවජ්ජා) නුවණැත්තන් විසින් පරීක්ෂා කරනු ලබනවා(ඉමේ ධම්මා විඤ්ඤුජපසත්ථා) මේවා සමාදන් වී ක්‍රියා කිරීමෙන් තමන්ට සහ අනුන්ට අවැඩක්, දුකක්, විපතක් සිදුවෙනවා නම් (සමන්තා සමාධින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති) එවිට ඔබ ඒවා අත්හරින්න (අථ තුම්හේ පජ්ජහීයථ)

සරලව පවසතොත් ගෞතම බුදුරජාණන් වහන්සේ දෙසා වදාළේ යම් ක්‍රියාවක් හෝ මතයක් තමන් තුළ ලෝභ, දෝෂ, මෝහ (ආශාව, වෛරය, මුලාව) ඇති කරන්නේ නම් එය වැරදි බවත් අලෝභ, අදෝෂ, අමෝහ වර්ධනය කරමින් තමන්ටත් සමාජයටත් ශාන්තියක් සතුටක් ලඟා කර ගන්නේ නම් එය නිවැරදි කුසල් බවත්ය. එය තීරණය කළ හැක්කේ ප්‍රායෝගික ප්‍රතිඵල දෙස බලාය.

හඬ නන්දාගේ වුව ද පද අයත් වූයේ බොහෝ විට සුනිල් ආරියරත්නටය. මුල් කාලයේ නම් නන්දා මාලනී විවිධ පද රචකයන්ගේ පදමාලා අමු සිංහල කාන්තාවකගේ මධුර හඬින් රසික දන වෙත තිළිණ කළාය. මහගම සේකරයන් ලියූ “මේ සිංහල අපගේ රටයි” ඩෝල්ටන් අල්විස් විසින් රචිත “උඩඟුලියන් ගොතා බඳින” වැනි ගීත ඒ අතර වේ. පසු කලෙක ඇය සුනිල් ආරියරත්නයන්ගේ පදමාලාවල අඩස්සියේ වැටුණාය. එතැන් සිට ඇය තුළින් ප්‍රකාශ වූයේ එක් ගීත රචකයකුගේ තනි උවමනාවන්ය. නන්දා මාලනිය අද කුමන ස්ථානයක තබා වටහාගන්නේදැයි යන පැනය විමසන විට සුනිල් ආරියරත්න ගේ ඒකාධිකාරීත්වය විසින් ඇයව රැගෙන ගියේ කවර ස්ථානයකටද යන පැණය ඒ සමගම පැණ නගින්නේ මේ නිසාය.

ජනප්‍රිය පුවත්  එප්ස්ටීන් - ටයිටැනික්!

කෙසේ වෙතත්, අපට අනුව නන්දාගේ හඬ පිරිපහදු නොකළ පිරිපහදු කිරීමට වුවමනා නොවූ අව්‍යාජ සිංහල කාන්තාවගේ හඬය. ඇතැමුන් ඇයව වැළඳ ගන්නෙත් , ඇතැමුන් ඇයව පිටු දකින්නෙත් ඇගේ හඬ පරාසය මතින් දායාද කෙරුණු ඇතැම් ගීතවල පද හේතුකොටගෙන ය.

කිසිවෙකුට ඇය කොන්දේසි විරහිතව “සුදු” නොවන්නෙත් කොන්දේසි විරහිතව “කළු” නොවන්නෙත් ඇයගේ ගීත යාය එතරම් විචිත්‍රවත් වූ නිසාය. එහෙත්, කිසිදු ගායිකාවක හෝ ගායකයකු එක් පද රචකයකුගේ සිරකාරියක නොවිය යුතුය. එසේ වීම එම ගායිකාවගේ හෝ ගායකයාගේ විවිධත්වයෙන් සපිරි නිර්මාණ බිහිවීමට එය බාධාවක් වන නිසාය.

බුදුන් වහන්සේ යමක් දෙස බලන්නට අපට කියා දී තිබෙන අන්දමට නන්දා මාලනිය දෙස නොව ඇයගේ ගීත කලාව දෙස බලන්නට අපට හැකිනම් නිවැරදි ඇගයීම සිදුකිරීම අසීරු වන්නේ නැත. ඇයගේ විරෝදාකල්ප ගීත නිසා දින තුනක ශෝක දිනයක් ඇයට හිමි විය යුතු නැත. ඇය ඊට වඩා විශාලය! දින තුනක ශෝක කාලය උරුම විය යුත්තේ සුනිල් ආරියරත්නයන්ටය!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Banuka
Banuka
12 days ago

වස් කවි වැනි ගීතවලින් තරුනයන් කුපිත කෙරූ රට ගිනිතිය පු පොදු දේපොළ ගිනි තියපු රාජ්‍ය දේපළ විනාශ කිරිම මිනිස් ගාතන වලට අපායේ යන්ට ඇති

1
0
Would love your thoughts, please comment.x
()
x