ආර්ථික අර්බුද හමුවේ ගුරුවරු 44% කට මානසික පීඩනය
1 min read
රජරට විශ්වවිද්‍යාලය මගින් සිදු කරන ලද සමීක්ෂණයකින් රජයේ පාසල් ගුරුවරුන්ගෙන් සියයට හතළිස් හතරක් (44%) ඉහළ මානසික බිඳවැටීම්වලට ලක්වී ඇති බවට හෙළිවී තිබේ.
මෙම සමීක්ෂණයේදී ගුරුවරුන් මුහුණ දෙන දැඩි ආර්ථික අර්බුදය සහ ඔවුන්ගේ මානසික බිඳවැටීම (burnout) අතර ඍජු සබඳතාවක් ඇති බව අනාවරණය වී ඇත.
සමීක්ෂණය සඳහා තෝරාගත් පාසල්වල ගුරුවරුන් දෙසිය තිස් අටදෙනකු (238) සහභාගිකොට ගෙන ඇත. මෙම ගුරුවරුන්ගෙන් 81% කට වඩා ප්‍රකාශකර ඇත්තේ ඔවුන්ගේ මාසික ආදායම මූලික අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවන බවයි.
මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා ඔවුන් 77% ක් අත්‍යවශ්‍ය වියදම් කපා හැර ඇති අතර, 78% කට ආසන්න පිරිසක් අතිරේක ආදායම් මාර්ග සොයමින් සිටින බවද අදාළ සමීක්ෂණයෙන් හෙළිව ඇත. එසේම ගුරුවරුන්ගෙන් 30.4% ක්ම දැඩි මානසික පීඩනයකින් පසුවෙති. මොවුන් සමාජීය වශයෙන් අක්‍රියව සිටින අතර කාංසාව සහ විශාදය වැනි මානසික රෝගවලටද ගොදුරුව තිබේ. කිසිදු මූල්‍ය ඉතිරියක් නොමැතිවීම සහ මාසික වියදම් සීමා කිරීමට සිදුවීම, මානසික සෞඛ්‍යය පිරිහීමට බලපාන ප්‍රධානතම සාධක ලෙස හඳුනාගෙන ඇත. ආර්ථික අර්බුදය හේතුවෙන් ජීවන රටාව වෙනස් කරගැනීමට (වියදම් කපා හැරීමට) සිදුවීම ගුරුවරුන්ගේ දැඩි මානසික සෞඛ්‍ය ගැටලු සඳහා ඍජුවම බලපා තිබේ. මෙම තත්ත්වය මත ඔවුන් වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ සහ මානසික සෞඛ්‍ය උපදේශන සේවා ලබාදීමේ හදිසි අවශ්‍යතාවක් ඇති බව මනෝ විශේෂඥ වෛද්‍යවරු පවසති.
