වැඩ කරන ජනතාවට පුනරුදය ! E.T.F – E.P.F අරමුදල් හාම්පුතාලා අතට !
1 min read
සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල ඒකාබද්ධකර, මෙරට ඇති විශාලතම අරමුදලේ මුදල් පිළිබඳ තීරණගැනීමට සේවායෝජකයින් හෙවත් හාම්පුතාලාද අයත් වන තෛයිපාර්ශවික මණ්ඩලයක් පත් කිරීමට ආණ්ඩුව සූදානම් වේ. මේ බව අණාවරණය වන්නේ “සේවක අර්ථසාධක අරමුදලට සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට අදාළ සියළු කාර්යයන් ඒකාබද්ධ පාලන රාමුවක් යටතේ ක්‍රියාත්මක කිරීමේ ශක්‍යතාව පරීක්ෂා කිරීම පිණිස ජ්‍යෙෂ්ඨ නිලධාරි කමිටුවක් පත් කිරීම” නැමැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙනි.
අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා තිබෙන එම පත්‍රිකාවට අනුව අදාළ නිලධාරි කමිටුවට පැවරී ඇත්තේ 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ ස්ථාපිත සේවක අර්ථසාධක අරමුදලත්, 1980 අංක 46 දරණ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත මගින් පිහිටුවා ඇති සේවා නියුක්තයන්ගේ භාර අරමුදලත් ඒකාබද්ධ කිරීමය.
සේවක අර්ථසාධක අරමුදල මගින් සාමාජිකයන් මිලියන 2.5 කට අධික සංඛ්‍යාවක් ආවරණය කරනු ලබන අතර, එහි වත්කම් රු. ට්‍රිලියන 4.9 ද ඉක්මවනු ලබයි. එම අරමුදලේ භාරකාරත්වය, ආයෝජන කළමනාකරණය, මූල්‍ය පරිපාලනය සහ සාමාජික ප්‍රතිලාභ ගෙවීමේ වගකීම අදාළ පනත මගින් පවරා දී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවටයි. එමෙන්ම සේවායෝජකයන් සහ සේවකයින් ලියාපදිංචි කිරීම, අනුකූලතාව බලාත්මක කිරීම, හිඟ මුදල් අයකරගැනීම සහ පනත ප්‍රකාරව සේවක අයිතිවාසිකම් නීතිමය වශයෙන් ආරක්ෂා කිරීමේ වගකීම් පැවරී ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවටය.
1980 අංක 46 දරණ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත මගින් පිහිටුවන ලද සේවා නියුක්තයන්ගේ භාර අරමුදල පමණක් සේවායෝජකයින්, සේවකයින් නියෝජනය කරනු ලබන ත්‍රෛයිපාර්ශවීය මණ්ඩලයක් මගින් පාලනය වේ. එම අරමුදල මගින් මිලියන 3 කට වඩා වැඩි ක්‍රියාකාරී සාමාජිකත්වයක් ආවරණය කරනු ලබයි. එය සතු වත්කම් ප්‍රමාණය රු. බිලියන 637.5 ද ඉක්මවා තිබේ.
අදාළ පත්‍රිකාව මගින් පත්කර තිබෙන කමිටුවට ආණ්ඩුව බාරදී ඇත්තේ මෙම අරමුදල් දෙකේම සියළු කාර්යයන්, රජය, සේවායෝජකයින් (හාම්පුතුන්) සහ සේවකයින් නියෝජනය කරන පාලන රාමුවක් යටතට පත් කිරීමය. මෙම පියවර මගින්, සාමාජිකයන් මිලියන 2.5 කට වඩා අධික සංඛ්‍යාවකගේ මුදලෙන් සමන්විත වූ වත්කම් රු. ට්‍රිලියන 4.9 ද ඉක්මවනු ලබන සේවක අර්ථසාධක අරමුදල මහ බැංකුවේ හා කම්කරු දෙපාර්තමේන්තුවෙන් බැහැරට ගෙන හාම්පුතුන් ද ඇතුළත් ත්‍රෛයිපාර්ශවීය කැඳ හැලියක් බවට පත් කිරීම ආණ්ඩුවේ අරමුණ වී තිබේ.
එමඟින් සාමාජිකයන් සතු මෙම දැවැන්ත ධනය ඉහළ පෙළ ධනවතුන්ගේ උවමනාවන්ට ගැලපෙන පරිදි කළමණාකරණය කර ගැනීම ඉලක්කය වී තිබේ. මෙම අදහස, ජනාධිපතිවරයාට සමීප ඉහළ මට්ටමේ ව්‍යාපාරික ගජමිතුරන්ගේ උවමනාව අනුව සිදුකෙරෙන බවද අප වෙත වාර්තා වී තිබේ.
මෙම අරමුදල් පිළිබඳව අතීතයේ පැවති ඇතැම් ආණ්ඩුද මෙබඳු උත්සාහයන් දරන ලද විට, ඊට එරෙහිව බලවත්ව ක්‍රියා කළේ ජ.වි.පෙ. වෘත්තීය සමිතිය. පුද්ගලික අංශයේ සෙසු වෘත්තිය සමිති ආණ්ඩුවේ මෙම උත්සාහයට එරෙහිව දැනටමත් ක්‍රියාමාර්ග කරා යොමුවෙමින් තිබේ.
- දිදුල නාරම්පනාව –
