මීගමුව බන්ධනාගාර සිදුවීම ගැන සත්‍ය හෙළි කරන ලෙස ජීනිවා මානව හිමිකම් කාර්යාලයෙන් දැනුම්දීමක්
1 min read
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ මෑතකදී ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් සත්‍යය හෙළි කිරීම සහ වගවීම තහවුරු කිරීමේ අත්‍යවශ්‍යතාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) අවධාරණය කරයි.
ජිනීවා නුවරදී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පෙන්වා දෙන්නේ, බන්ධනාගාර තුළ සිදු වූ මරණ සහ තුවාල ලැබීම් පිළිබඳව කඩිනම්, ස්වාධීන සහ විනිවිදභාවයකින් යුත් විමර්ශනයක් පැවැත්වීම රජයේ වගකීමක් බවයි.
මීගමුව ඇතුළු බන්ධනාගාර කිහිපයක වාර්තා වූ ගැටුම් සහ ඉන් අනතුරුව රැඳවියන් මියයාම පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළ කරන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය, වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට යුක්තිය ඉටු විය යුතු බව සඳහන් කරයි.
මෙම සිදුවීම්වලට වගකිව යුතු පුද්ගලයන් හෝ නිලධාරීන් කවුරුන් වුවද, ඔවුන් නීතිය හමුවට පැමිණවීමට කටයුතු කළ යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
බන්ධනාගාරවල පවතින අධික තදබදය, රැඳවියන් රඳවා සිටින අමානුෂික තත්ත්වයන් සහ දීර්ඝ කාලීනව පවතින පද්ධතිමය ගැටලු මෙම ප්‍රචණ්ඩත්වයට මූලික හේතු වී ඇති බව පෙන්වා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර පිළිබඳව ද අවධානයෙන් පසුවන බව පවසයි.
විශේෂයෙන්ම, රැඳවියන්ට වධහිංසා පැමිණවීම් හෝ අනිසි ලෙස සැලකීම් සිදු වූයේද යන්න පිළිබඳව කෙරෙන විමර්ශන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බව ද එහි අවධාරණය කර ඇත.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැනි ස්වාධීන ආයතනවලට බන්ධනාගාර වෙත බාධාවකින් තොරව පිවිසීමට සහ විමර්ශන සිදු කිරීමට ඇති අයිතිය සුරක්ෂිත කරන ලෙස ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය ගොඩනැංවීම සඳහා මෙම විමර්ශනවල ප්‍රතිඵල ප්‍රසිද්ධියට පත් කිරීම අතිශය වැදගත් බව ද එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.
