May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ක්‍රිස්ටලීනාගේ “උම්මා” එක !

1 min read

මේ ඉන්නේ ක්‍රිස්ටලීනා ය. ක්‍රිස්ටලීනා කීවාට ඇයගේ මුළු නම වන්නේ ක්‍රිස්ටලීනා ජෝර්ජිවා ය. බල්ගේරියන් ජාතික කාන්තාවක වූ ඇය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකාව ය. නිකම්ම නිකම් අධ්‍යක්ෂිකාව නොව කළමණාකරණ අධ්‍යක්ෂිකාව ය.

ඇය මේ බදා වැළඳගෙන ඉන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අගමැතිනියවය. මෙවැනි උණුසුම් සිප වැළඳ ගැනීමක් සාමාන්‍යයෙන් සිදු වන්නේ නැත. එවැන්නක් සිදුවන්නේ ආවාට ගියාට නොව, අම්බානක් බොක්කෙන් ය. මේ උණුසුම් සිප වැළඳ ගැනීම කියවා ගැනීමට හැකිනම්, අපේ රටේ හෙට දවස ගැන තේරුම් ගැනීමට ඒ මගින් වූව හැකිවන්නේය.

බොහෝ දෙනාගේ පිළිගැනීමට අනුව දැන් ලංකාව පාලනය කරන්නේ අති-වමය. ජනතා විමුක්ති පෙරමුණ ගැන හැමෝම සිතා සිටියේ අති-වමක්යැයි කියාය. අති-වම යනු, සාමාන්‍ය වමටත් වඩා වාමාංශික (නිර්මාංශික නොවේ !) වමක් ය. එවැනි වමක් IMF පිළිගන්නේ නැත. එවැනි වමකට IMF දිරවන්නේ ද නැත. අනුර කුමාර ඇතුළු ජ.වි.පෙ. ප්‍රධානීන් සිය ඉතිහාසය පුරාම කියා ඇත්තේ “IMF එකෙන් ගොඩ ගිය රටක්” නැතැයි කියාය. IMF යනු ගෝලීය අධිරාජ්‍යවාදයේ මූල්‍ය සංවිධානය බව ජ.වි.පෙ. කියැවීමය. එහි මූලස්ථානය ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ය. එය වැඩියෙන්ම නඩත්තු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ මුදලින්ය. එහි තීරණ ගැනීමේ වැඩි බලය පවතින්නේ ඇමරිකා එක්සත් ජනපදයට ය. බැලූ බැල්මට ස්වාධීන පෙනුමක් එය සතුව ඇතත්, ඇත්තටම IMF යනු ඇමරිකා එක්සත් ජනපදයේ වෙස්ගන්වන ලද අනු සංවිධානයක් ය.

ලංකාවේ මිනිස්සු බහුතරයක් මේ බව දන්නේ නැත. ගාලු මුවදොර අරගලයට පැමිණි මධ්‍යම පාන්තික අරගලකරුවන් අත ලංකාව බේරාගැනීමට IMF එකට ආරාධනා කරන සටන් පාඨ තිබුණේ අහම්බයකින් නොවේය.

ජනප්‍රිය පුවත්  ජාතික කුඩය ඉස්සීම

පසුගිය දා ඉන්දියාවේ හිටපු ප්‍රධාන ආර්ථික උපදේශකයකු වූ ආචාර්ය අරවින්ද් ස්වාමි ශ්‍රී ලංකා මහ බැංකුවේදී දේශනයක් සිදු කළේය. එහිදී ඔහු කීවේ දීර්ඝ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවට ආර්ථික ස්ථාවරත්වයක් අත් කර ගැනීමට නොහැකි වූයේ, බරපතල “බුද්ධිමය ගැටලුවක්” නිසා බවය.

ඔහු එහි දී පෙන්වා දුන්නේ ලංකාව නිදහස ලබා ගෙවා දමන ලද මුළු කාලයෙන් 60% ක්ම ගත කර ඇත්තේ IMF වැඩසටහන් යටතේ බවය. ඔහු මේ ගැන පවසනු ලැබුවේ, මෙය “නිදන්ගත සාර්ව ආර්ථික පීඩනයක” ලක්ෂණයක් බවය.

අපේ රටේ මිනිස්සු වෙනත් රටක මිනිහෙක් කියන දෙයක් පිළිගන්නට වඩා කැමතිය. ආචාර්ය අර්වින්ද් ස්වාමි අයත් වන්නේද වෙන රටකට ය. ඔහුට අනුව, ඉන්දියාවේ වත්මන් ආර්ථික ප්‍රගතියට හේතුව 1991 න් පසුව අවුරුදු 30 කට වැඩි කාලයක් ඉන්දියාව IMF සරණ නොගිහින් තමන්ට අණන්‍ය මාවතේ ගමන් කිරීමය.

අපේ රටේ මිනිස්සු හිතන්නේ මතුපිට ඇත්ත ගැනය. මතුපිට ඇත්ත දැක මෝහණය වුවහොත් ඇතුළත ඇත්ත පෙනෙන්නේ නැත. අප දැන් ඉන්නේ අපගේ මුළු දල දේශීය නිෂ්පාදිතයේ අගයටත් වඩා වැඩි අතිශය විශාල ණය බරක්ද දරාගෙනය. 2026 අය-වැය මගින් පමණක් ණය වාරික සහ පොලිය ගෙවීමට පමණක් රු. බිලියන 4,495 ක් (රුපියල් ට්‍රිලියන 4.5 ක්) වෙන් කර ඇත. මේ වූ කලි රජයේ මුළු ආදායමෙන් ( රුපියල් ට්‍රිලියන 5.3 න්) 85% කට වඩා වැඩි ප්‍රමාණයකි.

ජනප්‍රිය පුවත්  සංගක්කාරගේ ගන්දස්සාරය

රජයේ මුළු ආදායමෙන් 85% කට වඩා ගත්තු ණය වල පොලිය හා වාරිකය ගෙවන්නට වැය කළ විට ඉතිරි 15% න් කළ හැක්කේ කුමක්ද? ඇඟපත වෙහෙස නොකර එවිට කරන්නේ අඩුපාඩුව පියවා ගැනීමට ණය ගැනීමය. අය-වැය හිඟය පියවන්නේ එලෙසය. එමගින් සිදුවන්නේ ඊළඟ වසරේදී ණය වාරිකය හා පොලිය ගෙවන්නට වැය වන මුදල 85% ටත් වඩා වැඩිවීමය. අර්බුදයේ වක්‍රය එසේ වේ.

2028 දී අපි අභිමුව ඇත්තේ අතිශය බරපතළ අභියෝගයකි. මෙතෙක් අප නොගෙවනු ලබන පුද්ගලික ණයහිමියන්ගෙන් ලබා ගත් ණය ගෙවීම කළ යුතු වන්නේ 2028 දී ය. ඒ අනුව 2028 වසරේ සිට වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 3.2 ත් 4 ත් අතර ප්‍රමාණයක් අපට සිදුවන්නේ ගෙවන්නටය. එය ගෙවූ විට, අප ඉතිරි වියදම් කරන්නේ කුමකින් ද?

IMF එක පිහිටට පැමිණ ඇත්තේ අපට නොවේ. එය කරනුයේ අප රට ලබාගෙන ඇති ස්වෛරීත්ව බැඳුම්කර ණය පියවීම සඳහා අවශ්‍ය ප්‍රතිකර්මය අපිට කරවීම ය. ඒ, අපට ආදරේට නොවේ. අප මගින්, ස්වෛරීත්ව බැඳුම්කර ණය අපට දුන් පෞද්ගලික ණයහිමියාට අප ගෙවිය යුතු ණය ලබාදීම සහතික කරනු සඳහා ය. බදු පිට බදු ගසා හෝ නොකා නොබී හෝ ඒ ණය හිමියන්ට ණය වාරිකය ගෙවීම සඳහා අපව මෙහෙයවීම IMF එකේ රාජකාරිය වේ. එසේ කිරීමේදී රටේ ආර්ථිකයට “කෙළවීම” ගැන විස්සෝපයක් IMF එකට ඇත්තේම නැත.

ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මෙසිරිලක අගමැතිනිය වන හරීනි අමරසූරිය මේ තරම් උණුසුමින් බදා වැළඳගන්නේ අගමැතිතුමියගේ ආණ්ඩුවට ක්‍රිස්ටලීනාගේ “වැඩේ” කාටත් වඩා හොඳින් (ඇතැම්විට රනිල්ටත් වඩා හොඳින්) අකුරටම ඉටුකරන හන්දාය. කියන විදියට වැඩේ කරන මේ අන්දමේ කීකරු පාලනයක් ක්‍රිස්ටලීනාලට මීට පෙර ලංකාවේදී හමුවී නොමැති නිසාය. ඒ නිසා ක්‍රිස්ටලීනා ඉන්නේ පට්ට ජොලියෙන්ය. ඒ ජොලිය කොතරම්ද යත්, ඇයට සිතෙන්නේ අගමැති හරිනි දුටු විට බදා ඉඹගන්නට ය. ජ.වි.පෙ. යන අති-වාම ව්‍යාපාරය, ලිබරල් වමක් බවට පත් කරවීමේ මෙහෙයුමේ සංඛේතය හරිනි වන බව දන්නා ක්‍රිස්ටලීනා මේ සිප වැළඳගන්නේ හරිනිව නොවේ. ඒ සංඛේතය ය.

ජනප්‍රිය පුවත්  මේ ශ්‍රී ලංකාවේද අනාගත දෙමල ඊළාමේද?

IMF විරෝධී වාම ජ.වි.පෙ. ලිබරල්කරණයට ලක් කළ බලවේගයේ සංඛේතය හරිනි අමරසූරිය වන නිසාය. අති-වාම ජ.වි.පෙ. වාම නැති ජ.වි.පෙ. යක් බවට පත්කර IMF දී තිබෙන පාරේ ගමන් කරවීමේ ගෞරවය එම සංඛේතයට හිමිවන නිසාය. එය ක්‍රිස්ටලීනා සහ හරිනි පිළිබඳව වන දේශපාලන සමලිංගිකත්වයේ (සමාන බවේ) ප්‍රකාශනයක් නිසාය. ගින්දරින්, යකඩෙන් කරන්නට බැරි වූ දේ අනුරලා හරහා හරිනිලාට කරන්න පුළුවන් වු නිසාය. ඒ වෙනුවෙන් මෙවැනි සිප වැළඳගැනීමක් නොවන්නේනම් සිප වැළඳගැනීම් අවශ්‍යවන්නේ කුමකට ද?

මේ බව නොතේරෙන ජ.වි.පෙ. පූර්ණකාලීනයන්ට අපට පතන්නට ඇත්තේ “දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා ! ” කියා පමණි. ඊට වඩා දෙයක් ඔවුන් වෙනුවෙන් අපට කරන්නට ඉතිරිව ඇත්තේ නැත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x