ඉල්ලා අස්වීමේ ලිපියට ජනපතිගෙන් ප්‍රතිචාරයක් නැහැ – මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අබේකෝන්
1 min read
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වන බව දන්වා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියට මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව මහාචාර්ය සරත් අබේකෝන් මහතා පවසයි.
මහනුවර ප්‍රදේශයේ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
අදාළ ධුරය භාරගන්නා අවස්ථාවේදී ඉතා කෙටි කාලයකින් ඉල්ලා අස්වන බවට ජනාධිපතිවරයා වෙත දැනුම්දී තිබුණ බව ද ඔහු අනාවරණ කළේය.
කෙසේවෙතත් දිට්වා සුළිකුණාටු තත්ත්වය හමුවේ මධ්‍යම පළාතේ ඇති වූ හානිය සැලකිල්ලට ගනිමින් තමන් සිය තීරණය මේ දක්වා කල්දැමූ බව සරත් අබේකෝන් මහතා පැවසුවේය.
අතිශය පෞද්ගලික හේතුවක් මත තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන වන බවත් ඊට කිසිවකු බලපෑම් නොකළ බවත් ඔහු කීය.
ඒ අනුව තමන් ලබන 21 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වන බවට ජනාධිපතිවරයාට දන්වා ඇති බව සරත් අබේකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
