අධ්‍යාපන ලොක්කියෙකුට සේවකයින්ගෙන් අසූචි ප්‍රහාරයක්
1 min read
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නිපුණතා සංවර්ධන අරමුදලේ සාමාන්‍යාධිකාරිවරිය වෙත සේවකයන් පිරිසක් විසින් අසූචි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි නාරාහේන්පිට පොලිසිය සඳහන් කරනවා.
මෙම අසූචි ප්‍රහාරය නාරාහේන්පිට පිහිටි නිපුණතා සංවර්ධන අරමුදලේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය තුළදී සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අදාළ ආයතනයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, සාමාන්‍යාධිකාරිවරිය විසින් ක්‍රියාත්මක කරන ලදැයි කියන ඒකාධිපති පාලන ක්‍රමවේදය සහ සේවකයන් සමඟ පැවති අභ්‍යන්තර ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් සේවක ප්‍රජාව අතර ඇයට එරෙහිව දැඩි විරෝධයක් ගොඩනැඟී තිබූ බවයි.
මීට අමතරව, ඇය විසින් අරමුදලේ සේවය කළ නිලධාරීන් දෙදෙනෙකු මාරු කර යැවීමට පියවර ගැනීමද මෙම විරෝධතාව උග්‍ර වීමට ආසන්නතම හේතුව වී ඇතැයි වාර්තා වෙනවා.
මේ පිළිබඳව කරුණු දක්වමින් නාරාහේන්පිට පොලිසිය සඳහන් කළේ, මෙය ආයතනය තුළ පැවති අභ්‍යන්තර ආරවුලක ප්‍රතිඵලයක් මත සිදුවූවක් බව දැනට සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවකුත් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, නාරාහේන්පිට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.
