ලෝකෙට මාටි, ගෙදරට පාටි
1 min read
ටිල්වින් සිල්වා මාරය. විජිත හේරත්ද පට්ට මාරය. ඔවුන් මේ මල් තබන්නේ කියුබානු දේශප්‍රේමියකු වූ ජොසේ මාටිගේ ප්‍රතිමාවක් අභියසට ය. මේ ප්‍රතිමාව අළුතින් ඉදි කර ඇත්තේ කොළඹ මහජන පුස්ථකාල ශ්‍රවණාගාරයට අයත් භූමියේය.
ජොසේ මාටි සටන් කළේ ස්පාඤ්ඤ අධිරාජ්‍යවාදයට එරෙහිව ය. ෆිදෙල් කැස්ත්‍රෝ මාක්ස්වාදියකු වීමට පෙර අනුරාගීව බැඳුණේ ජොසේ මාටි වෙත ය. ඒ බව ෆිදෙල් කැස්ත්‍රෝම ලොවට පවසා ඇත.
කියුබාවේ ඓතිහාසික දේශප්‍රේමී විරුවකු ලෙස සැලකෙන ජොසේ මාටිගේ ප්‍රතිමා හදා විවෘත කර, මල් තබන ලංකාවේ ටිල්වින්ලා, හේරත්ලා වීර පුරන්අප්පුගේ ප්‍රතිමා හදන්නේ නැත. මල් තබන්නේ නැත. කැප්පෙටිපොළ නිලමේතුමාගේ, බූටෑවේ රටේ රාළගේ පිළිම තනන්නේ නැත. මල් තියන්නේ ද නැත. “ජාතික රාජ්‍ය” හෙවත් ජනරජය බෙදා වෙන් කිරීම වැලකූ විරෝධාර රණවිරුවන්ගේ ප්‍රතිමා හදන්නෙත් නැත. මල් තියන්නෙත් නැත. අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවක් හිටවනු තබා ගලවන්නට ද ඇත්තේ වැඩි ඉඩ කඩක් ය.
කියුබාවේ දේශප්‍රේමියාගේ ප්‍රතිමාව හදා විවෘත කළාට ටිල්වින්ලාට, හේරත්ලාට තමා වටා සිටින NGO ප්‍රධානින් “ජාතිවාදයට බර වීම” යැයි කියන්නේ නැත. එහෙත් කියුබාවේ ජොසේ මාටි සේම සැලකිය හැකි ලංකාවේ වීර පුරන් අප්පුගේ ප්‍රතිමා හදන්නට හා මල් තියනට ටිල්වින්ලා, හේරත්ලා පට්ට බය ය. ඒ, එසේ කළහොත් තමන් ජාතිවාදීන් ලෙස හංවඩු ගැසෙනු ඇතැයි යන මානසික බිය නිසාය. ඒ මානසික බිය එන්නේ මේ ටිල්වින්ලා ගුණයෙන් හෝ හරයෙන් සැබෑ ලෙසම අධිරාජ්‍යවිරෝධීන් නොවන නිසාය.
දේශප්‍රේමී වීරයන් උවමනානම්, එවැන්නන් ජ.වි.පෙ. කියුබාවෙන් ආණයනය කළ යුතු නැත. ඕනෑ තරම් මේ මහා පොළොවෙන් එවැනි හෝ ඊටත් වඩා ශ්‍රේෂ්ඨ වීරයෝ සොයා ගත හැක. අප කළ යුත්තේ ඒ වීරයන්ගේ ප්‍රතිමා තැනීමය. එයට මල්කළඹක් පූජා කර, හිතේ තියෙන ඔවුන් පිළිබඳ බර නිදහස් කරගන්නට රටවැසියන්ට අවස්ථාව සලසා දීමය. එහෙත් මේ වෙන්නේ කුමක්ද? මේ ඡායාරූපය ඵළ කරන අද වූ කලි ශ්‍රී ලංකාවේ ජනරජ දිනය යි. ඩොමීනියන් නිදහස ලැබුනේ 1948 දී ය. 1948 පෙබරවාරි 4 වැනි දින අපිට ලැබුණු ඩොමීනියන් නිදහසට අනුව, තවදුරටත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් පත්කරන ලද අග්‍රආණ්ඩුකාරයා ය. එලෙසින්ම ලංකාවේ සමහර දේ ගැන තීරණ ගැනීමේ අවාසානාත්මක බලය හිමිව තිබුණේ එංගලන්තයේ ආයතනයන්ට ය. අපේ පාර්ලිමේන්තුව කිසියම් නීතියක් ඒකමතිකව සම්මත කළ ද බ්‍රිතාන්‍ය අග්‍රආණ්ඩුකාරයා එය අනුමත කර අත්සන නොතබන ලදහොත් එය නීතියක් බවට පත් වන්නේ නැත. එසේම ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණ බලය හිමිව තිබුණේ එංගලන්තයේ ප්‍රිවි කවුන්සලයට ය.
මේ වහල් බැමි අප ගලවා ගත්තේ 1972 මැයි 22 ය. එ.ජා.ප. ය 1977 දී බලය ගැනීමෙන් පසු, මේ ඓතිහාසික දිනය මහත් අභිමානයෙන් සැමරීම අත් හළේය. ඒ “සිලෝන්” යන නාමය හැලී රට ශ්‍රී ලංකාව ලෙස නාමකරණය වීම එ.ජා.ප.යට දිරවන්නට බැරි නිසා විය හැකිය. දැන් මෙතන ඇති ප්‍රශ්නය එය නොවේ. එසේ නම් ප්‍රශ්නය කුමක්ද ?
ස්පාඤ්ඤ අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් වැද දිවි පිදූ කියුබාවේ ජොසේ මාටිගේ පිළිම නිමවා, සිටුවා, විවෘත කරනු ලබන ටිල්වින්ලා ශ්‍රී ලංකාවේ “ජනරජ දිනය” ගැන වගේ වගක් නැත. මොවුන් ඇත්තටම අධිරාජ්‍යවිරෝධියෝ නම් මේ දිනය මගහරින්නේ ද නැත. මොවුන් ලෝකෙට අධිරාජ්‍ය විරෝධියෝ ය. ගෙදරට අධිරාජ්‍ය ගැත්තෝ ය. මෙහෙවු වම්මුන් මේ පෘතුවිතලයේ තවත් සිටිය හැකිද? කෘතිම බුද්ධියෙන් හෝ එය සොයා බැලීම කාට කාටත් යහපත් ය.