නීතිඥ නෝනාට එරෙහි සාක්කි වෙනස් වුණේ කොහොමද ?
1 min read
එක රැයකින් නීතියේ කිරුම් පඩි වෙනස් කළ හැකි තරමේ අදෘශ්‍යමාන හස්තයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිටුපස ක්‍රියාත්මක වන්නේද යන බරපතළ සැකය අද මුළුමහත් සමාජයම හමුවේ විවෘතව පවතී.
රහස් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ බරපතළ ලිඛිත සාක්ෂි හදිසියේම වෙනස් කිරීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (02) දැඩි ප්‍රශ්න කිරීම්වල නිරත වෙමින්, ඒ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් වහාම ගොනු කරන ලෙසට නියෝග කළේය. මෙම ආන්දෝලනාත්මක සිදුවීම කේන්ද්‍ර වී ඇත්තේ, ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළදීම වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටින කඩවත ප්‍රදේශයේ නීතිඥවරියක වන තමරා කුමාරි අබේරත්න සහ මහේෂ් ඔබේසේකර, ලක්ෂිත ශ්‍රී දුලාජ් යන සැකකරුවන් පිරිසක් වටාය.
දින එකසිය අසූ දෙකක් පුරාවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කළ මෙම නීතිඥවරිය, කෙහෙල්බද්දර පද්මේ වැනි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පාතාල සාමාජිකයන් සමඟ සෘජු සබඳතා පැවැත්වූ බවට මීට පෙර අධිකරණයට කරුණු වාර්තා වී තිබිණි. ව්‍යාජ හැඳුනුම්පත් භාවිත කරමින් බැංකු ගිණුම් අටක් පවත්වාගෙන ගිය ඇය, වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් කෝටි විසිහතරකට අධික සැකකටයුතු මුදලක් සංසරණය කර ඇති බව රහස් පොලිසිය මීට පෙර අවස්ථා තුනකදීම ‘බී’ වාර්තා මගින්ම තහවුරු කර තිබුණි. එපමණක් නොව, 2025 පෙබරවාරි 19 වැනි දින ඝාතකයන්ට නීතිඥ වෙස් ගැන්වීමට අවශ්‍ය ලෝගු, තම අත්සන සහිත ව්‍යාජ නීතිඥ හැඳුනුම්පත් සහ ගිනි අවිය සඟවාගෙන ඒමට අවශ්‍ය පොත්පත් පවා ලබා දී ඇත්තේ ඇය විසින් බවට පැහැදිලි සාක්ෂි හයක්ද අනාවරණය වී ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසයද කරුණු දක්වා තිබුණි.
එහෙත් සමස්ත අධිකරණ පද්ධතියම මවිතයට පත් කරමින්, මෙම සැකකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් කටයුතු නොකරන බව රහස් පොලිසිය හදිසියේම අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත. “අවස්ථා තුනකදී අධිකරණයට ඉදිරිපත් කළ ඒ බරපතළ සාක්ෂි එක රැයකින් වෙනස් වුණේ කොහොමද? ව්‍යාජ හැඳුනුම්පත් සහ ගිණුම්වලට ආ කෝටි ගණනක මුදල් දැන් බොරුවක් වෙලාද?” යන්න ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විවෘතවම රහස් පොලිසියෙන් ප්‍රශ්න කළේ නීතිය ඉදිරියේ සිටින්නේ හුදෙක් සැකකරුවන් පමණක් නොව මනුෂ්‍යයන් බවද සිහිපත් කරමිනි. අපරාධයකින් උපයාගත් දේපළ පනත යටතේ පමණක් ඉදිරි විමර්ශන කරන බවට රහස් පොලිසිය දෙන වාචික පොරොන්දු මත පමණක් තීරණ ගත නොහැකි බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 123 වගන්තිය ප්‍රකාරව සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් වහාම කැඳවීමට පියවර ගත්තේය.
අදාළ සැකකරුවන් තිදෙනා ලබන 05 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරයේ සිර මැදිරියට පිය නගද්දී, සාක්ෂි වෙනස් වන්නේ කාගේ වුවමනාවටද යන්න නීතියේ දෙවඟනගේ දෑස් බැඳ ඇති රෙදිකඩද විනිවිද යමින් මුළුමහත් සමාජයම ප්‍රශ්න කරමින් සිටී.
