ඉරානය සහ ඇමරිකාව අතර වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයක් – පාකිස්ථාන අගමැතිගෙන් නිල නිවේදනයක්
1 min read
ලෝක දේශපාලනයේ දැවැන්ත පෙරළියක් සනිටුහන් කරමින්, ඉරාන ඉස්ලාමීය ජනරජය සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ඔවුන්ගේ මිත්‍ර පාර්ශවයන් වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයකට එළඹ ඇති බව පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් මහතා නිල වශයෙන් නිවේදනය කර තිබේ.
අද (අප්‍රේල් 08) අලුයම සිය නිල ‘X’ ගිණුම හරහා විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා සඳහන් කළේ, ලෙබනනය ඇතුළු දෙපාර්ශවය අතර ගැටුම් පවතින සියලුම කලාප සඳහා මෙම සටන් විරාමය අදාළ වන බවයි.
මෙම ඓතිහාසික පියවර සම්බන්ධයෙන් දෙරටේම නායකත්වයට සිය කෘතඥතාව පළ කරන පාකිස්ථාන අගමැතිවරයා, පවතින සියලු ආරවුල් සඳහා ස්ථිරසාර විසඳුම් සෙවීමේ අරමුණින් ලබන සිකුරාදා (අප්‍රේල් 10) ඉස්ලාමාබාද් නුවර පැවැත්වෙන විශේෂ සාකච්ඡා වටයකට සහභාගී වන ලෙස දෙරටේ දූත පිරිස් වෙත විවෘත ආරාධනයක් ද සිදු කර ඇත.
දෙපාර්ශවයම ප්‍රඥාවන්තව සහ ඉතාමත් අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් සාමය සහ ස්ථාවරත්වය උදෙසා ගත් මෙම තීරණය තමන් අගය කරන බව අගමැති ෂරීෆ් වැඩිදුරටත් පැවසීය. ඉදිරි ‘ඉස්ලාමාබාද් සාකච්ඡා’ (Islamabad Talks) හරහා කලාපීය සාමය තහවුරු වනු ඇති බවට තමන් දැඩි ලෙස විශ්වාස කරන බව ද ඔහු සඳහන් කර තිබේ.
මෙම සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මැදපෙරදිග ඇතුළු ලෝක දේශපාලන ක්ෂේත්‍රයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය ලිහිල් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ මත පළ කරති.
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
