අධිකරණ ඇමති වගකීම භාරගන්නවා කියලා හරියන්නෙ නෑ, එතුමා ඉල්ලා අස්වෙන්න ඕනේ – මුජිබර්
1 min read
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් 26 දෙනෙකු ඝාතනයට ලක්ව තවත් විශාල පිරිසක් තුවාල ලැබූ ගැටුම සම්බන්ධයෙන් වගකීම භාරගන්නා බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කර ඇතත් ඒ සිද්ධිය ඇතිවූයේම ඔහු තම අමාත්‍ය ධුරයේ වගකීම පැහැර හැරීම හේතුවෙන් බැවින් ඔහු එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
“පහුගිය ආණ්ඩු කාලේ මහර බන්ධනාගාරයේ මේ වගේ සිද්ධියක් ඇතිවුණාම වර්තමාන ජනාධිපතිතුමා ඒ පැවති ආණ්ඩුවට තමයි චෝදනා කළේ ඒ ආණ්ඩුව වගකීම භාරගත යුතුයි කියලා. මං හිතන්නෙ අධිකරණ ඇමතිතුමා දැන් පැන්නේ ජනාධිපතිතුමාව බේරාගන්නද කියන ප්‍රශ්නයක් මතුවෙනවා. අධිකරණ ඇමතිවරයා කියනවා දැන් එයා වගකීම භාරගන්නවා කියලා. මොකක්ද එයා භාරගන්න යන්නෙ ? දැන් මේ නැතිවෙච්ච ජීවිත ලබාදෙන්න එතුමාට පුළුවන්ද ? එතුමා භාරගන්න එකේ මොකක්ද අර්ථකථනය ? මොකක්ද එයා භාරගන්න එකෙන් කරන්න යන්නෙ ? ඒකනෙ වැදගත් වෙන්නෙ … භාරගන්න පුළුවන් ඕනෙ කෙනෙක්ට. භාරගත්තායි කියලා වෙච්ච සිදුවීම නිවැරදි වෙන්නෙ නෑනෙ. එයා භාරගන්න නෙවෙයි, කලින් දවසේ රාත්‍රියේ යම් සිදුවීමක් ඇතිවුණාම වහාම ඒක සමනය කරගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න තිබුණා. ඒ ක්‍රියාමාර්ග ගත්තෙ නෑ. ඒ ක්‍රියාමාර්ග ගත්තෙ නැති නිසා තමයි අද මේ තරම් විශාල ජීවිත හානියක් සිද්ධ වෙලා තියෙන්නෙ. ඒ නිසා වගකීම භාර අරගෙන හරියන්නෙ නෑ, එතුමා හරි නම් ඉල්ලා අස්වෙන්න ඕනෙ. ඒකයි එතුමා කළයුතු දේ. මොකද මේ තනතුරේදී එතුමා එතුමාගේ වගකීම පැහැර හැරලා තියෙනවා. ඒ පැහැර හැරීම නිසා එතුමා ඒ තනතුරින් ඉවත් වෙන්න ඕනෙ”
මුජිබර් රහුමාන් මහතා මේ බව පැවසුවේ ඊයේ (06) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
