පුනරුදයෙන්, සූර්ය විදුලි නිෂ්පාදකයෝ දැඩි අර්බුදයක! බැංකු ණයත් මග හැරලා!
1 min read
සති අග, රජයේ නිවාඩු දිනයන්හිදී විදුලි බල මණ්ඩලය විසින් විදුලිය මිලදී නොගැනීමත්, විදුලි ඒකකයක් මිලදී ගැනීමේ මිල අඩු කිරීමත් යන හේතු නිසා සූර්ය බලාගාර හා කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීමට ලබාගත් ණය ගෙවා ගැනීමට නොහැකිවීම හේතුවෙන් විශාල අර්බුදයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.
මේ තත්ත්වය හේතුවෙන් මෙරට බැංකු පද්ධතිය ඉදිරියේදී බරපතල අවදානමකට ලක්වීමට ඉඩ ඇති බව බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
එනිසාම පාරිභෝගික තැන්පතු ද අවදානමට ලක්ව ඇතැයි පැවසේ.
කුඩා ජල විදුලි බලාගාර, වහලය මත සවිකරන ලද සූර්ය පැනල හා සූර්ය බලාගාර ඉදිකිරීමට වැයවූ මුදලින් 70%කට ආසන්න ප්‍රමාණයක් බැංකු ණය ලෙස ලබාදී ඇතැයි ද වාර්තා වේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පත්වීමෙන් පසුව සූර්ය බලයෙන් ලබා ගන්නා විදුලි ඒකකයක මිල රුපියල් 37/- සිට 27/ දක්වාද ඊට පසුව 17/- දක්වා ද මේ වන විට කප්පාදු කර තිබේ.
ඉන් නොනැවතී එම අංශවලින් සති අග දිනයන්හිදී (ඉරිදා/සෙනසුරාදා) විදුලිය ලබා ගැනීමත්, රජයේ නිවාඩු දිනවලදී විදුලිය ලබා ගැනීමත් අත්හිටුවා තිබේ.
සූර්ය බල උත්පාදනය සඳහා වහලමත සූර්ය පැනල ඉදිකිරීම ඇතුළුව සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා එක්ලක්ෂ පනස්දහසකට ආසන්න පිරිසකට බැංකු මගින් ණය දී ඇති බවද මේ අතර වාර්තා වේ.
කෙසේවුවද, වත්මන් තීන්දු හේතුවෙන් සූර්ය බලාගාර පවත්වාගෙන යනු ලබන 360කට ආසන්න ආයෝජකයෝද මේවන විට ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයේ පසුවන බව පැවසේ.
සාමාන්‍යයෙන් ජල විදුලිය, විදුලි මෙගාවොට් එකක් නිෂ්පාදනය සඳහා බලාගාර ඉදිකිරීමේදී රුපියල් මිලියන 500කට ආසන්න මුදලක් වැය වන බවත්, එසේම සූර්ය බලයෙන් විදුලි මෙගාවොට් එකක් නිෂ්පාදනයට අදාළ ඉදිකිරීම්වලට රුපියල් මිලියන 350ක් වැනි විශාල මුදලක් වැය වන බවත් පැවසේ.
වසර ‘2025-2030’ අතර කාලය සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පසුගියදා ‘පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධනය සඳහා සැලැසුමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත්ත ද වත්මන් තත්ත්වය නිසා එය හීනයක්ම වනු ඇති බව එම ක්ෂේත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව වසර 2030 වන විට ජාතික විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම හා කාබන් උදාසීන කිරීමට සැලැසුම් කර ඇතත් වත්මන් තත්ත්වය හේතුවෙන් පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයට ආයෝජනය කිරීමට මේවන විට ආයෝජකයින් මැලිවී සිටින බවද පැවසේ.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
