January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ණය සහන කාලයක් යෝජනා කිරීම මාලිමා ආණ්ඩුවට අතුල් පහරක්ද ?

1 min read

මාලිමා දේශපාලන සන්ධානය නේක විධ වියතුන්ගෙන් සහ බුද්ධිමතුන්ගෙන් පිරුණු ශාස්ත්‍රීය ක්ෂේම භූමියක් බව ඔවුහු පැවසුහ.

මනා ලෙස පරිනත වූ කෝලිකුට්ටු කෙසෙලයක් ඉදී වැඩුණු පසු නටුවෙන් පහසුවෙන් ගිලිහි නොයාමට පවා ඉඩ නොදෙන පරියේෂණ සිදු කළහැකි ප්‍රභල ගනයේ පරියේෂකයින් ඔවුන් සතු බවට මැතිවරණ වේදිකාවල පුරසාරම් දෙඩුහ.

ඒ වගේම පාලන බලය තමන්ට ලබාදෙන්නේ නම්, රටේ ආර්ථිකය සහ සංවර්ධනය මාස හයක් වැනි කෙටි කාලයකින් ගොඩදමා දෙන බවටද කැට තබා පොරොන්දු විය. 76 වසරක ශාපය විසින් අපරට මිහිපිට අපායක් බවට පත්කර ඇති බවත් එයට හේතුව විනාශකාරී ධනේශ්වර සහ ලිබරල්වාදී ආර්ථික පිළිවෙත බවත් ඔවුන් පුනපුනා ප්‍රතිරාවය කළේය. මෙම සමස්ත අර්බුදයට විශ්මකර්ම විසඳුම් ඔවුන් සතු බවත් ඒ උදෙසා දියුණු මානව සම්පතක් සහ විෂය ප්‍රාමාණික බුද්ධිමතුන් ඔවුන් සමග පෙළගැසී සිටින බවත් අවධාරණය කළේය.


68 ලක්ෂයක් පමණක් නොව මුළුමහත් රටක් ඔවුන්ගේ දෘෂ්ටිවාදී ආඛ්‍යානයේ රැල්ලට හසුවූවා පමණක් නොව ඒ රැල්ල මතින් නව පුනරුද ආශ්චර්යක් පතා ඊට අවනතව රාජ්‍ය බලය පෙර නොවූවිරු ලෙස පවරා දීමට කටයුතු කළේය. ඒ අනුව විධායක බලය සහිත ජනාධිපතිවරයෙක්, තුනෙන් දෙකක බලය සහිත පාර්ලිමේන්තුවක්, ඒ සඳහා මන්ත්‍රීවරු 159 ක් ආදී වශයෙන් දැවැන්ත මහජන බලයක් ඔවුන් දැන් අභ්‍යාස කරමින් සිටි.

රාජ්‍ය බලය ලබා ගැනීම වෙනුවෙන් ජවිපෙ දියත්කල ඓතිහාසික විපලවකාරී, එනම් 71 සහ 88/89 රාජ්‍ය විරෝධී කැරලිවලට වඩා මෙවර ඔවුන් ලද අවස්ථාව එක් අතකින් සුවපහසු වනවා පමණක් නොව එය හුදු දේශපාලන අහම්භයක් බව කිව හැකිය. මේ වගට ශාක්ෂි සපයන්නේ වෙන කවුරුත් නොව අදාළ බල ව්‍යුහය ගොඩ නැගීමට වීර්යෙන් කැපවීම් කල කොළඹ විශ්වවිද්‍යලයේ මහාචාර්ය නිර්මාල් රන්ජිත් දැන් කියන කතා කෙරෙහි අවධානය යොමු කරන විටය. ඔහුට අනුව දැන් අනුර කුමාර ආණ්ඩුව කිච වී පිචන් වී යමින් තිබේ. ආණ්ඩුකරණය පිළිබඳව ඔවුන්ට නිශ්චිත දැක්මක්, වැඩපිළිවෙලක්, විධිමත් සැලැස්මක් නැත. ඒ බවට මෑතකාලීන උදාහරණ ඔහු ගෙනහැර දක්වයි. වත්මන් ආණ්ඩුවේ ප්‍රභල රැකවලෙක් සහ පිරිසිදු කරන්නෙක් වූ මහාචාර්ය නිර්මාල් වඩාත් ශාස්ත්‍රීය පාපොච්චාරණයක් කරන බව හැඟී යයි.

මෙවැනි පසුබිමක් තුල පසුගිය එනම්, 2025 නොවැම්බර් අග භාගයේදී, ශ්‍රී ලංකාව මෑතකාලීන ඉතිහාසයේ මුහුණ දීමට සිදුවූ විනාශකාරී ස්වාභාවික ආපදාවට ලක්වීමට සිදුවිය.

එම විපතේදී දහසකට ආසන්න ජිවිත ප්‍රමාණයක් අහිමිවී ගිය අතර තවමත් අතුරුදන් පිරිස් සොයා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකව පවතී. ජිවිත හානිවලට අමතරව නිවාස, මහාමාර්ග, පාලම්, ගොවිබිම්, ඇතුළු දැවැන්ත යටිතල පහසුකම් ප්‍රමාණයක් විනාශ කරමින් ඩොලර් බිලියන ගණනක හානියක් සිදු කරමින් දිවයින පුරා දිට්වා සුළි කුණාටුව හමා ගියේය. එවැනි වටපිටාවක වත්මන් ආණ්ඩුව පශ්චාත් ආපදා කළමනාකරණයක නියැලෙමින්, රටේ පවතින මානුෂීය හා ආර්ථික විනාශයන් සමඟ පොරබදමින් සිටී.

මේ අතර ගෝලීය ආර්ථික විද්‍යාඥයින්ගේ ප්‍රමුක පෙලේ සන්ධානයක් ලංකාවේ වගේම ගෝලීය පාර්ශවකරුවන්ගේ පියවි සිහිය අවධි කරන ආයාචනයක් නිකුත් කර ඇත. ලොව පිළිගත් ආර්ථික විද්‍යාඥයින් 120 කගෙන් සමන්විත මෙම සන්ධානය විසින්, ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීම් වහාම ප්‍රමාද කිරීමට සහ දේශගුණික ආතතීන්වල යථාර්ථය පිළිබිඹු කිරීම වෙනුවෙන් විදේශීය ණය ගෙවීමේ ක්‍රියාවලිය මුළුමනින්ම නැවත සමාලෝචනය කරන මෙන් ඉල්ලා සිටී.

ආර්ථික විද්‍යාව පිලිබඳ නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස්, තෝමස් පිකෙටි, ජයති ගෝෂ්, මාර්ටින් ගුස්මාන් සහ යානිස් වරූෆකිස් ඇතුළු ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥයින් 120 කට අධික සංඛ්‍යාවක් විසින් මෙම ලියවිල්ලට අත්සන් තබා ඇත.

ඔවුන්ගේ මෙම ආයාචනය මගින් දේශගුණික අවදානම සහ ස්වෛරී ණය තිරසාරභාවය පිළිබඳ පවතින කතිකාව කෙරහි ප්‍රබල පණිවිඩයක් රැගෙන එයි. ආර්ථික විද්‍යාව පිලිබඳ ඉහත විද්‍යාඥයින්ගේ මෙම ඉල්ලීම ශ්‍රී ලංකාව මුහුණ දෙන උග්‍ර ආර්ථික පීඩනය මැනවින් ඉස්මතු කරනවා පමණක් නොව, ගෝලීය ආර්ථික යුක්තිය, දේශගුණික විචලතා සහ ජාත්‍යන්තර මුල්‍යකරණයේ උපායමාර්ග පිළිබඳ විමර්ශනාත්මක තර්කයක්ද මතු කරයි.

මෙම ලිපිය තුලින් උත්සහ කරන්නේ එකී ආමන්ත්‍රණයේ සාරය, වැදගත්කම, සහ ඇඟවුම් ගවේෂණය කිරීම වන අතර ලාංකීය ආර්ථික විද්‍යා විශාරදයින්, සහ මාලිමා ආණ්ඩුවේ සංවර්ධන උපදේශකවරුන්ගේ නොමද සැලකිල්ල යොමු කිරීමටත් එය ශ්‍රී ලංකාවේ දේශසීමාවලින් ඔබ්බට වැදගත් වන්නේ මන්දැයි විමසා බැලීමටත්ය.

ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දෙමින් සිටින ද්විඝටනාත්මක අභියෝගය

ජනප්‍රිය පුවත්  මාලිමා දේශපාලන කැඩපත ඉරිතලා යමින් තිබේ…විපක්ෂය ජාතියට මග කියන මාලිමාවක් බවට පත්විය යුත්තේ ඇයි?


මේ මොහොතේ අප රට මුහුණ දෙමින් සිටින්නේ ද්විත්ව ආකාර අර්බුදයකටය. එනම් එක් පසෙකින් දැවැන්ත ණය උගුලක් සහ අනෙක් පසින් ස්වභාවික සුළි කුනාටු ආපදාවේ විනාශය විසින් ඇතිකරන ලද අර්බුදයයි.

ලෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝගය අපට අලුත් දෙයක් නොවේ.

දශක ගණනාවක් තිස්සේ සිදුවූ විවිධ ණය ගැනීම් හේතුවෙන් ඉහළ ගිය රටේ විදේශ ණය බර දරාගත නොහැකි සීමාවකට ඉහල ගියේය. ඒ වගේම රටේ ආදායම සහ විදේශ විනිමය සංචිත සැලකිය යුතු ලෙස ක්ෂය වී ගියේය. එකී තත්වය තුල 2022 අප්‍රේල් මාසයේදී අප රටක් ලෙස ස්වෛරී ණය පැහැරහැරි රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තරව නාමකරණය විය. මෙවැනි යථාර්තයක, මිල උද්ධමනය අහස උසට නැඟුණු අතර ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයන් හේතුවෙන් දැවැන්ත මහජන නොසන්සුන්තාවක් සහ දේශපාලන කැලඹීමක් ඇති විය. මෙම සංකීරණ අර්බුදයට මුහුණ දීම සඳහා, ශ්‍රී ලංකාව 2024 දෙසැම්බර් මාසයේදී විවිධ ණයහිමියන් සමග නව මූල්‍යකරණ උපකරණ සම්බන්ධ කර ගනිමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමක් ඇති කර ගත්තේය. එම එකඟතා ප්‍රකාරව ණය ආපසු ගෙවීම් වෙනුවෙන් රජයේ ආදායමෙන් දළ වශයෙන් 25% ක් වෙන් කිරීමට පුරෝකථනය කරන ලදී. එහෙත් එම ඉලක්කය ආර්ථික වශයෙන් හිස එසවීමට අසීරුවෙන් උත්සාහ කරන රටකට ඉහළ වගේම කල් පවතින ආර්ථික බරකි.

මෙම තත්වය තුල රටේ දේශපාලන අවකාශයද ප්‍රභල කම්පනයකට ලක් වූ අතර එහිදී මිට පෙර අනුගමනය කරන ලද ආර්ථික සහ සංවර්ධන උපායන් දැඩි විවේචනයකට ලක්විය, එහි වඩාත්ම වාසි සහගත දේශපාලන අවස්ථාව හිමිකර ගත්තේ වත්මන් පාලක NPP ආණ්ඩුවයි.

මැතිවරණ ක්‍රියාවලිය පුරාවට ඔවුන් තොරොම්බල් කල සටන් පාඨයක් වුයේ 76 වසරක ශාපයෙන් අත්මිදෙමු යන්නයි. රටේ 68 ලක්ෂයක් මහජනතාව එය විශ්වාස කරමින් ඔවුන්ගේ මාලිමා සභාගය බලයේ පිහිටුමට කටයුතු කළේය.

බිඳ වැටුණු රටේ ආර්ථිකය ප්‍රකෘත්තිමත් කිරීම සඳහා එවකට රනිල් වික්‍රමසිංහ පාලනය විවිධ උපායන් අනුගමනය කල අතර එමගින් රටේ උද්ධමනය පාලනය කර විදේශ සංචිත ඩොලර් බිලියන 6.5 ක් දක්වා වර්ධනය කිරීමට සමත් විය. මුල්‍ය අරමුදල සමග එක්ව ණය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක්ද ආරම්භ කරමින් ආර්ථික වර්ධනයේ මුලික අඩිතාලම සවිමත් කිරීමට ඔහුට හැකිවිය. පාලන බලය මාරුවෙන මොහොතේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට හමුවේ ප්‍රකාශ කර සිටියේ, අසීරු වැල් පාලමෙන් ආර්ථිකය නමැති දරුවා රැගෙනවිත් අනුර කුමාර ජනාධිපතිවරයා වෙත බාර කරන බවයි. එහි රැකවරණය සහ මතු පැවැත්ම නව ජනාධිපති සතු බවද ඔහු තවදුරටත් අවධාරණය කළේය. නව ලිබරල්වාදයේ පියා ලෙස දේශපාලන වේදිකාවේ හංවඩුගැසූ රනිල් වික්‍රමසිංහගේ ආර්ථික දරුවා අනුර පරිපාලනය විසින් කිසිඳු වෙනස් විකල්ප සැලකිල්ලකින් තොරව හදාවඩා පෝෂණය කරමින්, සහ සුරතල් කරමින් සිටි.

රාජ්‍ය බලය අත්පත්කර ගැනීමෙන් වසරකුත් මාස කීපයකින් අනතුරුව 2025 නොවැම්බර් අගභාගයේදී, ඩිට්වා සුළි කුණාටුවට මුහුණ දීමට ජවිපෙ මුලික NPP ආණ්ඩුවට සිදු විය. මෙම ස්වභාවික ආපදාවෙන් පුද්ගල මරණ සහ අතුරුදන්වීම් 1000 කට ආසන්න සංඛ්‍යාවක්, දැවැන්ත ගංවතුර, නායයෑම් වලින් යටිතල පහසුකම් සහ වගා බිම් විශාල ප්‍රමාණයක් විනාශ විය. දල ඇස්තමේන්තු වලට අනුව මේවයේ ප්‍රතිසංස්කරණ පිරිවැය ඩොලර් බිලියන 7 ක් පමණ වනු ඇතැයි සැලකේ, මේසා විශාල අලාභයක්, දැනටමත් සංවේදී මූල්‍ය තත්වයක ගමන් කරන ආර්ථිකයකට කිසිසේත්ම දරාගත නොහැකි මුදලකි.

මෙම සුළි කුණාටුව විසින් ක්ෂණික මානුෂීය පීඩාවක් ඇති කළා පමණක් නොව, කෘෂිකර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය වැනි ප්‍රධාන ආර්ථික අංශවලට ද දැඩි පහරක් එල්ල කළේය.

එමෙන්ම මෙම අනපේක්ෂිත කම්පනය විසින් ආර්ථිකයේ වර්ධන අපේක්ෂාවන් මන්දගාමී කළ පමණක් නොව, රජයේ මූල්‍ය කටයුතුවලට දැවැන්ත පීඩනයක්ද එල්ල කළේය. මෙහි ප්‍රතිපලයක් ලෙස යම් වර්ධනයක් වෙමින් පැවති ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සැලකිය යුතු පසුබෑමකට මුහුණ දීමට නියමිත බව මුල්‍ය අරමුදල, ලෝක බැංකුව ඇතුළු ආයතන පුරෝකථනය කරනු ලබයි.

අර්බුදයට ප්‍රතිචාර වශයෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැනි ප්‍රධාන බහුපාර්ශ්වික ණය දෙන්නන්, හදිසි මානුෂීය අවශ්‍යතා සපුරාලීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහාය වීමට වේගවත් මූල්‍යකරණ මෙවලම යටතේ හදිසි මූල්‍ය ආධාර වශයෙන් ආසන්න වශයෙන් ඩොලර් මිලියන 206 ක් අනුමත කර ඇත. ඒ හා සමානව, කුණාටුවෙන් හානි වූ අත්‍යවශ්‍ය සේවා සහ යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලෝක බැංකුව ඩොලර් මිලියන 120 ක අරමුදල් කැප කිරීමට සුදානම් බව පවසා ඇත.

ජනප්‍රිය පුවත්  ඩිජිටල් හැඳුනුම්පත පුරවැසි පෞද්ගලිකත්වයේ සහ දත්තස්වෛරිත්වයේ අවසානය….

මෙම හදිසි අරමුදල් ක්ෂණික සහන සඳහා ඉතා වැදගත්ය. නමුත් මේවා ජාතිය මත පැටවී ඇති දැවැන්ත දිගුකාලීන ණය බැඳීම්වලට විසඳුම් ලබා නොදේ.

ගෝලීය ආර්ථික විද්‍යාඥයින් ඉල්ලා සිටින්නේ කුමක්ද?


ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දෙමින් සිටින දුෂ්කර ආර්ථික යථාර්තය හමුවේ, ප්‍රමුඛ පෙලේ ආර්ථික විද්‍යාඥයින් 120 දෙනෙකුගෙන් යුත් සන්ධානය, විශේෂ ලිපියක් මගින් ඉල්ලීමක් යොමුකර ඇත. එකී ඉල්ලීමට අනුව ලංකාවේ විදේශ ස්වෛරී ණය ගෙවීම් වහාම අත්හිටුවන ලෙසත්, දේශගුණික විපර්යාස නිසා ඇතිවන කම්පනයන් මගින් ඇතිවන මූල්‍ය ආතතියේ යථාර්ථය පිළිබිඹු කරන නව ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය බවට ඒකාබද්ධ ප්‍රකාශය මගින් ඉල්ලා සිටී.

ඔවුන්ගේ මූලික තර්කනය වන්නේ, දේශගුණික කම්පන හුදෙකලා ඒවා ලෙස නොව පද්ධතිමය සාධක ලෙස හඳුනා ගත යුතු බවයි. එනම් ඉහල යන ගෝලීය උණුසුම වැනි හේතු නිසා ඇතිවන දේශගුණික විපර්යාස, ඩිට්වා වැනි ව්‍යසන, නිතර නිතර දරුණු වෙමින් පවතින බවත්, එබැවින් ඒවා බැහැර කල නොහැකි සාධක ලෙස පවතී. එබැවින් මෙවැනි තත්වයන් ආවරණය වීමට විශේෂිත ණය රාමු ඇතුලත් කර පද්ධතිමය කම්පන ලෙස සැලකිය යුතු බවත් ආර්ථික විද්‍යාඥයින් අවධාරණය කරති.

තවදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ, රට තවමත් නැවත ගොඩනැගෙමින් පවතින හෙයින්, පවත්නා වත්මන් කොන්දේසි යටතේ විදේශ ණය ගෙවීම දිගටම කරගෙන ගියහොත්, තීරණාත්මක ලෙස පවතින සීමිත මූල්‍ය සම්පත් හදිසි ප්‍රතිසංස්කරණ ප්‍රමුඛතා සහ සමාජ ආරක්ෂණයෙන් ඉවතට යොමුවී, දුෂ්කරතා තවත් සංකීර්ණ වන බව ඔවුහු පෙන්වා දෙති.

එබැවින් ආර්ථික විද්‍යාඥයින් ඉල්ලා සිටින්නේ, කිසිදු දඬුවම් කොන්දේසියකින් තොරව සැලකිය යුතු ණය අවලංගු කිරීමක්, ආපදා ප්‍රතිසංස්කරණ, සහ දිගුකාලීන සංවර්ධනය සඳහා මූල්‍ය අවකාශය නිදහස් කිරීම ඇතුළත් සැබෑ තිරසාර ණය ව්‍යුහයක් නිර්මාණය කරගැනීම ඉතා වැදගත් බවයි.

මෙම ප්‍රකාශනයේ ප්‍රබල ලෙස අවධාරනය කරන තවත් කරුණක් වන්නේ, බාහිර ණයහිමියන්ට ඇති මූල්‍ය බැඳීම් වලට වඩා, ආපදාවෙන් නැවත ගොඩඒමේදී බලපෑමට ලක් වූ ප්‍රජාවන්ගේ සුභසාධනය, පාරිසරික ආරක්ෂාව, සහ දිගුකාලීන ශක්‍යතාව කෙරෙහි ප්‍රමුඛත්වය දිය යුතු බවයි.

යුක්තිය සහ තිරසාරභාවය මත පදනම්ව ගෝලීය ණය ක්‍රියාවලියේ මූලික ප්‍රතිසංස්කරණ වලින් විතරක් ශ්‍රී ලංකාවට හෝ ඒ හා සමානව අවධානම් ඇති රටවලට යථා තත්ත්වයට පත්වීමට යථාර්ථවාදී අවස්ථාවක් ලබා දිය හැකි බව මෙම සන්ධානය විශ්වාස කරයි.

මෙම පණිවිඩය තුලින් ගෝලීය ණය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පිළිබඳව වැදගත් ඉඟියක් ලබා දේ.

ගෝලීය ආර්ථික විද්‍යාඥයින්ගේ සන්ධානය රැගෙන එන පණිවිඩය අපට වැදගත් වන්නේ ඇයි?


මෙම කැඳවීම දෙස රටක් හැටියට අපට පැති කීපයකින් වැදගත්ය.

එනම් දේශගුණික විචලතාවන්ගේ වින්දිතයින් ලෙස ඒ සඳහා යුක්තිය අපේක්ෂාවෙන් බැරෑරුම් ගෝලීය ආර්ථික හඬක් ගොඩ නැගිය හැක. ඒ සඳහා ගෝලීය වශයෙන් නමක් දිනාගෙන සිටින ප්‍රවීන ආර්ථික විද්‍යා බුද්ධිමතුන් රැසක් පෙළ ගැසී සිටී. ඔවුන් ලෝකයේ විවිධ මතවාද නියෝජනය කරන දෘෂ්ටිවාදී ගුරුකුළ කලාප ආවරණය කරනු ලබයි.

මෙවැනි බලපෑම් සහගත විශාල පිරිසක් රටක ස්වෛරී ණය සහන වැනි සාධකයක් මුල් කරගෙන, එය දේශගුණික බලපෑම් සමඟ සම්බන්ධ කරමින් සිදු කරන සෘජු ආයාචනයක් සමග එක්සත් වීම දුර්ලභ අවස්ථාවකි.

ජෝසප් ස්ටිග්ලිට්ස්, තෝමස් පිකෙටි, ජයති ගෝෂ්, මාටින් ගුස්මාන්, සහ යානිස් වරූෆකිස්, වැනි පුද්ගලයින් ඇතුළත් මෙම අධ්‍යයන හා ප්‍රතිපත්ති කවය විසින් අදාල ඉල්ලීමට සැලකිය යුතු බරක් ලබා දී ඇත.

වත්මන් NPP ආණ්ඩුවද බලයට ඒමට පෙර IMF වැඩසටහන සහ ඒ හා බැඳුනු ණය සමාලෝචනය පිළිබඳව විකල්ප වැඩ පිළිවෙලක් රට හමුවේ තබන බවට වූ මහජන පොරොන්දුවක්ද ලබා දෙන ලදී. එවැනි තත්වයක මෙම ආයාචනය සිදුකරන ආර්ථික විද්‍යාඥයින්ද අසමානතාවය, සංවර්ධන ප්‍රතිපත්ති සහ ගෝලීය මූල්‍ය උපාය මාර්ග පිළිබඳ ඔවුන්ගේ විවේචනාත්මක මතවාද සඳහා ලෝකප්‍රකටය.

ඒ අතරින් නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස්, අඩු ආදායම්ලාභී රටවල මුල්‍යකරණ හැකියාවේ ගෙල සිර කරන ප්‍රධාන සතුරෙක් ලෙස ණය බර හඳුන්වා ඇත. එමගින් අදාළ රටවල මහජන සුභසාධනය සහ දේශගුණික අනුවර්තනය සඳහා වන ආයෝජන වලට දැඩි බාධා පමුණුවන ප්‍රධාන සාධකයක් ලෙස ගෝලීය ණය බර විවේචනය කර ඇත.

ජනප්‍රිය පුවත්  දේශපාලන බොරුවලට සමාජයක් ගොදුරුවන ආකාරය

එමෙන්ම තෝමස් පිකෙටි, ජයති ඝෝෂ්, ඇතුළු සෙසු බොහෝ අය පෙන්වා දෙන්නේ ව්‍යුහාත්මක අසමානතාවයන් සහ අවදානම් නැවත සකස්කර ආර්ථික පද්ධති ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවයක් පැනනැගී ඇති බවයි.

උග්‍ර දේශගුණික ආපදාවක් විසින් නිර්මාණය වූ ආර්ථික ආතතියක් පවතින මොහොතක ඔවුන්ගේ සාමූහික ප්‍රකාශය, ආර්ථික යුක්තිය සහ දේශගුණික යුක්තිය සඳහා විවාදයේ ගෝලීය අවකාශයක් නිර්මාණය වී ඇත්තේ කලාතුරකිනි.

මෙය ශ්‍රී ලංකාවට පමණක් නොව, කැරිබියන් කලාපයේ සිට නැගෙනහිර අප්‍රිකාව දක්වා, මේ හා සමාන තර්ජනවලට මුහුණ දෙන අනෙකුත් අවදානමට ලක්විය හැකි ජාතීන්ට ද කිසියම් ඇඟවුමක් රැගෙන එයි.

විශේෂයෙන් සීමිත මූල්‍ය සම්පත් සහිත රටවල් සඳහා අත්‍යවශ්‍ය දෙයක් ලෙස ණය සහන නැවත සකස් කිරීම උදෙසා, ආර්ථික විද්‍යාඥයින් පුළුල් ආඛ්‍යානයකට දායක වී ඇත. සංවර්ධනය දේශගුණික බලපෑම් වලින් වෙන් කළ නොහැක. මෙම දෘෂ්ටි කෝණයෙන්, සලකා බලන විට දේශගුණික අවදානම බාහිර දෙයක් නොව ආර්ථික සෞඛ්‍යය සහ මූල්‍ය තිරසාරභාවය හැඩගස්වන මූලික සාධකයක් බව කිව හැකිය.

ආර්ථික විද්‍යාඥයින්ගේ මෙම ඉල්ලීම, වැදගත් ප්‍රවේශයක් බව කිව හැකිය. එමගින් කිසිඳු බැඳීමක් ඇති නොකරන අතර එය ස්වයංක්‍රීයව ණයහිමියන්ගේ අයිතිවාසිකම් හෝ නියමයන් වෙත බලපෑම් නොකරයි. එහෙත් අසීරු මුල්‍ය සම්පත් හිමි රටක් හැටියට ශ්‍රී ලංකාවට මේ මොහොතේ සැනසිලි දායක ගෝලීය කතිකාවට බලපෑම් කිරීම වෙනුවෙන් මගක් විවර කර දෙයි. එමෙන්ම මෙම ප්‍රකාශය තුලින් ගෝලීය ආර්ථික න්‍යාය පත්‍රයට වෙතට ගැටලුව ඔසවා තබා ඇති අතර, ස්වෛරී ණය කොන්දේසිවලට දේශගුණික අවදානම ඇතුළු විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව ද්විපාර්ශ්වික ණය දෙන්නන්, පෞද්ගලික බැඳුම්කර හිමියන් සහ බහුපාර්ශ්වික ආයතන ඇතුළු ණයහිමියන් අතර ගැඹුරු සාකච්ඡා ඇති කළ හැකිය.

යුක්තිය සහ පැවැත්ම පිළිබඳ කාරණයක් ලෙස ණය සහන


ණය සහන ක්‍රියාවලියකට විකල්ප වැඩසටහනක් හඳුන්වා දෙන බවට පොරොන්දු වූ වත්මන් ආණ්ඩුව එය පසෙක තබා රනිල් වික්‍රමසිංහගේ වැල් පාලම් න්‍යාය තවදුරටත් කර තබාගෙන යමින් සිටී. ඒ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු තවත් පිරිසක් රටේ පවතින යථාර්තය අනුව IMF කොන්දේසි ලිහිල් කර ගැනීමේ වැදගත්කම අවධාරණය කරයි. විපක්ෂ නායකවරයා සුළි කුනාටු ආපදාවට දින කීපයකට පසු ආධාර සමුළුවක් කැඳවන ලෙසද පාර්ලිමේන්තුවේදී යෝජනා කළේය. එහෙත් ආණ්ඩුව මේ පිළිබඳව ගැඹුරු නිද්‍රාශීලි පිළිවෙතක සිටීම ඇදහිය නොහැකි කරුණකි.

මෙවැනි තත්වයක ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීම් සඳහා වහාම තාවකාලික සහනයකට යොමුවිය යුතුය යන ගෝලීය ආර්ථික විද්‍යාඥයින්ගේ ඉල්ලීම, ආර්ථික යථාර්ථවාදය සහ සදාචාරාත්මක බැඳීමේ තර්කනය යන දෙකෙහිම ඉස්මතු කරන නිර්භීත, කඩිනම් ආයාචනයකි.

එක අතකින් මෙය වත්මන් මොහොතේ අප හමුවේ පවතින කේන්ද්‍රීය සත්‍යයක් හෙළි කරයි. එනම් දේශගුණික විපර්යාස යනු පාරිසරික ගැටළුවක් පමණක් නොවේ. එය ජාතීන් අස්ථාවර කළ හැකි, ස්වෛරී මූල්‍ය සම්පත් වලට බරක් විය හැකි, සහ සංවර්ධන අපේක්ෂාවන් අඩපණ කළ හැකි ආර්ථිකයේ අවදානම්කාරී විචල්‍යයකි.

ඓතිහාසිකව ණය පැහැර හැරීමේ ප්‍රතිඵල තවමත් අත්විඳිමින් සිටින ශ්‍රී ලංකාවට, දිට්වාහි සමස්ත කම්පනය සහ අඛණ්ඩ ණය බර ස්වකිය පැවැත්ම කෙරෙහි ප්‍රභල අභියෝගයක් බව නොරහසකි. එබවින් ණය කොන්දේසි පිළිබඳ ප්‍රති සමාලෝචනය සඳහා වන ආර්ථික විද්‍යාඥයින්ගේ යෝජනාව, පවතින ණය කොන්දේසිවල සීමාවන් සහ දේශගුණික අවදානම සහ සංවර්ධන අත්‍යවශ්‍යතාවයන් යන දෙකම සඳහා හේතු වන අලුත් ප්‍රවේශයක අවශ්‍යතාවය ඉස්මතු කරයි.

ඔවුන්ගේ ඉල්ලීම විසින් ගෝලීය ණය පිලිබඳ ප්‍රතිපත්තිමය සංවාදය ඉහළ නංවන අතර අවදානමට ලක්විය හැකි ජාතීන් මුහුණ දෙන යථාර්ථයන් හෙළිදරව් කරමින් ගෝලීය මූල්‍ය සම්පාදනයට අභියෝග කරයි. එය ශ්‍රී ලංකාවට පමණක් නොව, දේශගුණික බලපෑම් සහ ණය අර්බුදයේ විෂම චක්‍රයට මුහුණ දෙන සියලුම රටවලට ප්‍රතිසංස්කරණ සඳහා උත්ප්‍රේරකයක් ලෙස සේවය කළ හැකිය.

එහෙත් මෙවැනි සංවාදයකට වත්මන් NPP පරිපාලනය කොතෙක් දුරට සුදානම් ද යන දෙගිඩියාව ආර්ථික විද්‍යාඥයින්ට වඩා රටේ ජනතාව හමුවේ ඇති ගැටලුවකි.

(සටහන: විජේපාල දිසානායක)

භාණ්ඩාගාරික

ආසියානු භූ දේශපාලන තිරසතාවය, සහ සාමය සඳහා වූ කවුන්සිලය

Asian Geopolitical Sustainability & Peace Council. (AGSPeC)

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x