October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අලුත් PSTA පනත් කෙටුම්පත නීතිගත කළොත් මෙරට මාධ්‍ය නිදහසේ අවසානය.. – ජී.එල්. පීරිස්

1 min read

රජය විසින් ඉදිරිපත් කිරීමට සූදානම් වන ත්‍රස්තවාදයට විරෝධී පනත් කෙටුම්පත (PSTA) නීතිගත කළහොත් මෙරට මාධ්‍ය නිදහසේ අවසානය සනිටුහන් වන බවත්, එය කතුවරුන්ට, නිවේදකයන්ට මෙන්ම සමස්ත මාධ්‍ය ආයතනවලටම එල්ල වන මාරාන්තික ප්‍රහාරයක් බවත් හිටපු අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අවධාරණය කරයි.

කොළඹදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් මහාචාර්යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම පනත ක්‍රියාත්මක වුවහොත් මෙරට කිසිදු පුරවැසියෙකුට හෝ මාධ්‍යවේදියෙකුට තොරතුරු දැනගැනීමේ හෝ මාධ්‍ය නිදහස භුක්ති විඳීමේ අවස්ථාව සම්පූර්ණයෙන්ම අහිමි වී යන බව පෙන්වා දුන් ඒ මහතා, ඒ සඳහා උදාහරණයක් ලෙස පසුගියදා ආන්දෝලනයට තුඩුදුන් ගල් අඟුරු වංචාව සිහිපත් කළේය. අදාළ ගල් අඟුරු වංචාව හේතුවෙන් මෙරට ජනතාවට සහ රජයට සිදුවූ අලාභය රුපියල් කෝටි 1,576 ක් බව විෂයභාර අමාත්‍යවරයාම පිළිගෙන තිබූ බවත්, කිසිදු පරීක්ෂාවකින් තොරව කන්ටේනර් 340 ක් අතුරුදන් වී මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 2.5 ක පාඩුවක් සිදුවූ බවත් ඔහු සඳහන් කළේය. රට හමුවේ මෙවැනි මහා පරිමාණ දූෂණ සහ වංචා හෙළිදරව් කළේ දේශපාලනඥයන් නොව නිර්භීත මාධ්‍යවේදීන් බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

ජනප්‍රිය පුවත්  සැප්තැම්බර් මාසයේ ගතවූ දින 13ට ඩෙංගු රෝගීන් 2,146ක්

කෙසේ වෙතත්, යෝජිත ත්‍රස්ත විරෝධී පනත යටතේ මෙවැනි තොරතුරු හෙළිදරව් කරන මාධ්‍යවේදීන්ගෙන් එම තොරතුරු ලබාගත් රහසිගත මූලාශ්‍රය කවුරුන්දැයි විමසීමට රජයට බලය හිමිවන බවත්, අදාළ තොරතුරු ලබාදුන්නේ කවුරුන්දැයි හෙළිදරව් කිරීම මාධ්‍යවේදියාගේ අනිවාර්ය නීතිමය වගකීමක් බවට පත්වන බවත් ජී.එල්. පීරිස් මහතා අනාවරණය කළේය.

එම රහස්‍යභාවය ආරක්ෂා කරමින් මූලාශ්‍රය හෙළිදරව් නොකළහොත් එය බරපතළ සාපරාධී වරදක් බවට පත්කිරීමට මෙම පනත මඟින් ප්‍රතිපාදන සලසා ඇති බව හෙතෙම කියා සිටියේය.

මීට අමතරව, අධිකරණ නියෝගයකින් තොරව හුදෙක් විධායකයේ තීරණය මත ඕනෑම ස්ථානයක් ‘තහනම් ස්ථානයක්’ ලෙස ප්‍රකාශයට පත්කිරීමේ සහ තහනම් කිරීමේ ඒකාධිපති බලය ආරක්ෂක ලේකම්වරයා වෙත පවරා ඇති බවද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

සාමාන්‍යයෙන් පොලිසිය භාවිත කරන බලතල සන්නද්ධ හමුදාවන්ට පැවරීම හරහා රට ගමන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මාවතකද නැතහොත් පොලිස් රාජ්‍යයක් හෝ ඒකාධිපති පාලනයක් දෙසටද යන්න ප්‍රශ්න සහගත බව ඔහු සඳහන් කළේය.

ජනතාවගේ ඇස්වලට වැලි ගසමින් පත්කරන අධීක්ෂණ කමිටු පවා අදාළ අමාත්‍යවරයාටම වාර්තා කරන දේශපාලන මෙවලම් පමණක් බවත්, මෙම පනත බලාත්මක වුවහොත් මෙරට මාධ්‍යවේදීන්ගේ වෘත්තිය නිෂ්ඵල සහ අතිශය භයානක එකක් බවට පත්වන බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ජනප්‍රිය පුවත්  ලැව්රොව් පවසයි: ඒකධ්‍රැවීය ලෝකය අවසන්, අප්‍රිකාව අවදිවෙමින් පවතී
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x