බාල ගල් අඟරු නිසා ඉන්ධන බිල වැඩි වූ හැටි මෙන්න !
1 min read
ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පසුගිය දා නිකුත් කරන ලද දත්ත අනුව, 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මෙරටට ඉන්ධන ගෙන ඒම සඳහා වැය කර ඇති මුදලට වඩා, 2026 එම කාලය තුළ ඉන්ධන ගෙන ඒමේ වියදම 61.6% කින් ඉහළ ගොස් තිබේ. 2025 වසරේ එම කාලය තුළ ඉන්ධන ගෙන ඒම සඳහා වැය කර තිබුණේ ඩොලර් මිලියන 2520.6 ක් පමණි. එහෙත් 2026 වසරේ අදාළ කාලය තුළ ඉන්ධන ගෙන ඒම සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 1551.5 කින් අතිරේකව වැය කර තිබේ.
මෙම වැඩිවීමට හේතුන් ලෙස, මැද පෙරදිග කලාපීය නොසන්සුන්තා හා ලෝක වෙළඳපොලේ බොරතෙල් හා ඩීසල් මිල ගණන් ඉහළ යාම මෙන්ම දේශීය ප්‍රවාහන හා විදුලි උත්පාදන අවශ්‍යතා සඳහා පිරිපහදු කළ ඉන්ධන වැඩි වශයෙන් ආනයනය කිරීම බලධාරින් විසින් පෙන්වා දෙනු ලැබ තිබේ.
එහෙත් අපගේ පර්යේෂණ අංශය මේ පිළිබඳව සිදු කළ සමීප අධ්‍යයනයක දී අණාවරණය වූයේ බාල ගල් අඟුරු ගෙන ඒම විසින් නොරොච්චෝලේ බලාගාරයට නියමිත මෙගාවොට් 910 ක උපරිම ධාරිතාවයකින් යුතු විදුලිය නිපදවීමට නොහැකි වීම මෙම ඉන්ධන පිරිවැය ඉහළ යාමේ ප්‍රධානතම හේතුව වන බවය.
බාල ගල් අඟුරු භාවිතය නිසා බලාගාරයේ දෛනික විදුලි උප්පාදනය 10% කට වඩා (මෙගාවොට් 95-130 ක් පමණ) අඩු වී තිබේ. බාල ගල් අඟුරු හේතුකොටගෙන නොරොච්චෝල බලාගාරයෙන් පද්ධතියට අහිමි වූ විදුලි ධාරිතාවය පියවා ගැනීමටත්, විදුලි කප්පාදුවක් ඇති වීම වලක්වා ගැනීමටත් ලංකා විදුලිබල මණ්ඩලයට අධික පිරිවැයක් යන ඩීසල් සහ තාප විදුලි බලාගාර උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට සිදුව තිබේ. මහජන උපයෝගිතා කොමිෂමේ (PUCSL) දත්ත අනුව, අඩුවන ගල් අඟුරු විදුලිය වෙනුවට ඩීසල් භාවිතා කිරීම නිසා පමණක් ලංකා විදුලිබල මණ්ඩලයට දිනකට රුපියල් මිලියන 75 ක (රු. 75,000,000) අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇත. පසුගිය අප්‍රේල් මාසයේ දී පමණක් ඩීසල් සහ සහායක ඉන්ධන වෙනුවෙන් පමණක් රුපියල් බිලියන 4.5 ක් දක්වා වූ අධික මුදලක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් වැය කර තිබේ.
2026 වසරේ ජනවාරි 01 සිට අගෝස්තු 31 දක්වා වූ පළමු මාස 8 තුළ ඩීසල් සහ දැවි තෙල් මගින් ජාතික පද්ධතියට එක් කර ඇති සමස්ත විදුලි ඒකක ප්‍රමාණය දළ වශයෙන් ගිගාවොට් පැය 1100 සිට 1300 දක්වා (විදුලි ඒකක මිලියන 1,100 – 1,300 ක් පමණ) අගයක් ගෙන තිබේ.
ගල් අඟුරු මගින් (ප්‍රමිතියෙන් උසස්) විදුලිය ඒකකයන් නිපදවීමට යන පිරිවැයට වඩා ඩීසල් මඟින් විදුලි ඒකකයක් නිපදවීමේ පිරිවැය 3 සිට 5 ගුණයකින් වැඩි බැවින්, මෙම තත්ත්වය සමස්ත විදුලිබල ක්ෂේත්‍රයට මෙන්ම ඉහත සඳහන් කළ මෙරට ඉන්ධන ආනයන බිලද තවදුරටත් දැඩි ලෙස ඉහළ නැංවීමට සෘජුවම දායක වී තිබේ.
නොරොච්චෝල බලාගාරයේ ඇති වූ මෙම ජනනය හිඟ බව පියවා ගැනීම සඳහා පසුගිය ඇතැම් දිනවල ඩීසල් වෙතින් නිපදවන විදුලි ඒකක අගය 14% ඉක්මවා ඉහළ ගොස් ඇත. මෙමගින් පැහැදිලි වන්නේ බාල ගල් අඟුරු මගඩිය මෙරට විදුලිය පාරිභෝගිකයා මත පටවා ඇති අධික මූල්‍ය බරට මෙන්ම මෙරටට ගෙන්වනු ලබන ඉන්ධන සඳහා වැයවන මුදල වැඩි කිරීමට හේතු වී ඇති අන්දමයි.
- කමල් ලියනගේ
