September 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නාමල් රාජපක්ෂගේ සිද්ධිය ගැන ජිනීවා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි

1 min read

ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින්, ඒකාධිපති පාලනයක් කරා ගමන් කිරීමට රජය දරන උත්සාහය සහ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් ලබන සතියේදී ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත නිල වශයෙන් පැමිණිලි කරන බව ‘බහුජන බලය’ සංවිධානයේ මිලින්ද රාජපක්ෂ මහතා පවසයි.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙතෙක් ආරක්ෂා කරගෙන ආ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාපිත ආයතන පද්ධතිය වත්මන් රජය විසින් ක්‍රමානුකූලව විනාශ කරමින් පවතින බවයි. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර, එහි මීළඟ පියවර ලෙස ජාත්‍යන්තරයේ අවධානය යොමු කිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

ලබන සඳුදා ආරම්භ වන ජිනීවා මානව හිමිකම් කොමිසමේ මීළඟ සැසිවාරයට සමගාමීව, අඟහරුවාදා දිනයේදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබී ඇති බව මිලින්ද රාජපක්ෂ මහතා පැවසීය.

එහිදී ප්‍රධාන වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර ඒකාධිපති බලයක් ගොඩනැගීමට දැරෙන උත්සාහය, අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වන බලපෑම්, ජනතා විරෝධී ලෙස ව්‍යවස්ථාව වෙනස් කිරීමට දරන උත්සාහයන්, විපක්ෂය ඉලක්ක කරගනිමින් සිදුකරන දේශපාලන පළිගැනීම් ආදී කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන බව ඔහු පෙන්වා දුන්නේය.

ජනප්‍රිය පුවත්  රනිල්, සමන් ඒකනායක හමු වෙයි! ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ වංචා ලිපිගොනුවක් ඉල්ලයි!

එයාර් බස් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම දේශපාලන පළිගැනීමක ප්‍රතිඵලයක් බව මිලින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.

රජය විසින් විපක්ෂයේ දේශපාලන නායකයන් මර්දනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, නාමල් රාජපක්ෂ මහතාට පමණක් නොව සජිත් ප්‍රේමදාස සහ දිලිත් ජයවීර යන මහත්වරුන්ට ද මෙවැනිම අසාධාරණ බලපෑම් එල්ල වන බවත් ඔහු පැවසීය.

වත්මන් රජය විසින් දූෂණ විරෝධී පනතට ගෙන ඒමට උත්සාහ කරන සංශෝධන පිළිබඳව ද ඔහු දැඩි විවේචනයක් එල්ල කළේය.

රජයේ ඇමතිවරුන් සහ නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳ තොරතුරු දැනගැනීමට ජනතාවට තිබූ අයිතිය මෙම සංශෝධන හරහා අහුරා ඇති බවත්, එය දූෂණයට මග පාදන ක්‍රියාවක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

ස්ටාලින්ගේ පාලන සමයේ හෝ උතුරු කොරියාවේ පවතින ආකාරයේ ඒකාධිපති නීති පද්ධතියක් ලංකාව තුළ ස්ථාපිත කිරීමට රජය උත්සාහ කරන බවත්, ඊට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු දෙනා වෙනුවෙන් ජිනීවාහිදී හඬ නගන බවත් මිලින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x