June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මහනුවර බැංකු මාෆියාව, NDB රු. බිලියන 13.2 මංකොල්ලය, භාණ්ඩාගාර වංචාව සහ මහ බැංකු අධිපතිගේ පිළිවෙත

1 min read

දශක ගණනාවක් පුරා සමස්ත ජාතියක් සිය දහඩිය මහන්සියෙන් ගොඩනැගූ විශ්වාසය සහ මූල්‍ය සුරක්ෂිතභාවය අමු අමුවේ ඝාතනය කරමින් තිබේ. ශ්‍රී ලංකාවේ බැංකු සහ මූල්‍ය අංශය මේ වන විට සිය ඉතිහාසයේ අඳුරුතම මෙන්ම භයානකම අර්බුදයකට මුහුණ දෙමින් සිටී. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතන තුළින් නිතිපතා අසන්නට ලැබෙන මහා පරිමාණ සංවිධානාත්මක මූල්‍ය අපරාධ මගින් රටේ සමස්ත නියාමන පද්ධතියේම නිරුවත හෙළිදරව් කර ඇත.

මහනුවරින් හෙළිවූ බැංකු මාෆියාව: ගනුදෙනුකරුවාගේ ගෙල සිරකළ හැටි

මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක් වන සම්පත් බැංකුවෙන් වාර්තා වන අතිශය බරපතළ මූල්‍ය වංචාව බැංකු පද්ධතිය කෙරෙහි තිබූ අංශුමාත්‍ර විශ්වාසය ද සුනුවිසුනු කර දමා තිබේ. සම්පත් බැංකුවේ මහනුවර, දළදා වීදිය ශාඛාව කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ මෙම මහා පරිමාණ ණය වංචාවකට අදාළව මේ වන විටත් එහි ප්‍රධාන විධායක නිලධාරිවරයෙකු සහ කළමනාකාරවරයෙකු ඇතුළු ඉහළ පෙළේ සැකකරුවන් 9 දෙනෙකු පොලිස් දැලට කොටු වී ඇත.

මෙම ක්‍රමානුකූල මූල්‍ය කොල්ලයේ වින්දිතයා බවට පත් වූ ගනුදෙනුකරුවා ලබා ගත් නියමිත ණය මුදලට වඩා විශාල ණය ප්‍රමාණයක්, කූට ලෙස සකස් කළ ලිපි ලේඛන (Forged Documents) හරහා ඔහුගේ නමට බැර කරමින්, බැංකුවේ ඉහළ නිලධාරිවරුන් පිරිසක් වසර ගණනාවක් තිස්සේ මෙම වංචාව ඉතා සූක්ෂමව සිදු කර ගෙන ගොස් ඇත. බැංකුවෙන් කිසිදු සාධාරණයක් ඉටු නො වන තැන ඔහු පොලිසියට ගිය අතර, රජයේ රස පරීක්ෂකවරයා විසින් අදාළ ලේඛන කූට ලෙස සකස් කළ ඒවා බවට නිල වශයෙන් තහවුරු කිරීමත් සමඟ මෙම බැංකු මාෆියාවේ සැබෑ ස්වරූපය එළියට පැමිණියේය.

ජනප්‍රිය පුවත්  හැව ඇරීම සහ ඩොලර් තොප්පිය

වඩාත්ම ඛේදනීය තත්ත්වය වන්නේ, වින්දිතයා විසින් අවස්ථා ගණනාවකදී ඉහළ කළමනාකාරීත්වයට කළ පැමිණිලි ඔවුන් විසින් හිතාමතාම යටපත් කිරීමයි. මෙය හුදෙක් එක් ශාඛාවකට පමණක් සීමා වූවක් ද නැතහොත් ඉහළ පුටු දක්වා විහිදුණු මහා ජාලයක් ද යන්න වහාම හෙළි කර ගත යුතුව ඇත.

NDB බැංකුවේ රු. බිලියන 13.2 සහ මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 කොල්ලය

සම්පත් බැංකුවේ අර්බුදය මෙසේ වෙද්දී, ජාතික සංවර්ධන බැංකුවෙන් (NDB) වාර්තා වූ රු. බිලියන 13.2කට ආසන්න දැවැන්ත අතුරුදන්වීම තවත් ඛේදවාචකයකි. මෙම වංචාවට ද ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරිවරුන් සම්බන්ධ බවත්, ව්‍යාජ ලේඛන හරහා පාරිභෝගික වාර්තා වෙනස් කර ඇති බවත් මේ වන විට හෙළි වී තිබේ.

මේ සියල්ලටම වඩා බරපතළම කරුණ වන්නේ, රටේ උත්තරීතරම මූල්‍ය කේන්ද්‍රය වන මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් කිසිදු අපහසුවකින් තොරව වංචනිකයන් අතට පත්වීමයි. පෞද්ගලික බැංකුවල පමණක් නොව, රාජ්‍ය මූල්‍ය පරිපාලනයේ හදවත ද කොල්ලකරුවන්ට විවෘත වී ඇති බව මින් මනාව පැහැදිලි වේ.

මහ බැංකු අධිපතිවරයාගේ වගකීම් විරහිත ප්‍රකාශය: නියාමනයක් නැති මහ බැංකුව

ජනප්‍රිය පුවත්  විදුලි බිල වැඩි වීමෙ බලපෑම ඒකක 180 කට පහළ අයට අදාළ නැද්ද…?මේ රටේ ඒකක 180 ට වැඩිය විදුලිය පරිභෝජනය කරන්නෙ 4% ක් පමණද…?

මෙවැනි පද්ධතිමය කඩාවැටීමක් හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රතිචාරය සමස්ත ප්‍රජාවම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතුය. “විගණනය යනු වාණිජ බැංකුවල හෝ බාහිර විගණකවරුන්ගේ පමණක් වගකීමක්” බව දක්වමින් මහ බැංකුවට මෙම අර්බුදයේ වගකීමෙන් කිසිසේත්ම අත සෝදා ගත නොහැකිය.

මහ බැංකුව යනු රටේ බැංකු අංශයේ උත්තරීතර අධීක්ෂණ අධිකාරියයි. ඔවුන්ගේ කාර්යභාරය හුදෙක් චක්‍රලේඛ නිකුත් කිරීමට පමණක් සීමා වූවක් ද? නියාමන හා අනතුරු ඇඟවීමේ පද්ධති අක්‍රිය වූයේ කෙසේ ද?

ගිණුම් හිමියන්ගේ බිඳවැටුණු විශ්වාසය

“බැංකුවේ ඉහළම නිලධාරීන්ම එකතු වෙලා හොර ලියකියවිලි හදලා සල්ලි කොල්ලකනවා නම්, අපේ සල්ලිවලට තියෙන ආරක්ෂාව මොකක් ද?” යන්න අද රටේ සෑම පුරවැසියෙකුගේම හදවතේ නැගෙන ප්‍රශ්නයයි. තමන්ගේ දහඩිය මහන්සියෙන් ඉපයූ මුදලට බැංකුව තුළ කිසිදු ආරක්ෂාවක් නොමැති බව තහවුරු වීමත් සමඟ, මහජනතාව තුළ බැංකු පද්ධතිය කෙරෙහි ඇති වන්නේ දැඩි අවිශ්වාසයකි.

අනෙක් අතට, රටේ ආර්ථිකය රඳා පවතින ප්‍රධානතම සාධකය වන විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ කෙරෙහි මෙය ඍජුවම බලපායි. නිල බැංකු මාර්ග ඔස්සේ මුදල් එවන ලෙස රජය බැගෑපත් වෙද්දී, මෙවැනි මහා පරිමාණ වංචා පිළිබඳ පුවත් ඇසෙන විට විදේශගත සේවකයන් තම මුදල් එවීමට නැවතත් අවිධිමත් (උණ්ඩියල්) ක්‍රම වෙත යොමුවීම වැළැක්විය නොහැකිය. ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය දැන් ජාත්‍යන්තරය ඉදිරියේ “අවදානම් සහිත සහ අභ්‍යන්තරයෙන්ම කුණු වූ” පද්ධතියක් බවට පත් ව ඇත. එවැනි රටක ආයෝජනය කිරීමට ආයෝජකයෝ එනු ඇතැයි බලාපොරොත්තු විය හැකි ද?

ජනප්‍රිය පුවත්  විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ ව්‍යවස්ථාදායක සභාව කැළණිය හරහා පැලවත්තට කඩා වැටීම

මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය මෙම තත්ත්වය සම්බන්ධයෙන් තමන්ගේ වගකීම භාර ගෙන දැන්වත් නියාමනය දැඩි කළ යුතුය. අශ්වයා පැන ගිය පසු හෝ ඉස්තාලය වැසීම නො වසාම තිබෙනවාට වඩා හොඳය.

– අජිත් පැරකුම් ජයසිංහ –

 

 

 

 

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x