සෙවණගල උක් ගොවියන්ට කොළඹ එන්න කියා ඇමති හඳුන්නෙත්ති ලෙඩ වෙලා..
1 min read
සෙවනගල සීනි කර්මාන්තශාලාවේ සේවක වර්ජනය සහ උක් වගාවේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කැඳවා තිබූ විශේෂ හමුවට කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහභාගී නොවීම හේතුවෙන් උක් ගොවි සංවිධාන නියෝජිතයෝ සිය දැඩි අසතුට පළ කරති.
අමාත්‍යවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බව දන්වමින් මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම්වරිය සහභාගී වී ඇති අතර, එහිදී සේවක වැටුප් ගැටලුව සම්බන්ධයෙන් යම් එකඟතාවක් ඇති වුවද ගොවීන්ගේ ප්‍රශ්නවලට නිසි විසඳුම් නොලැබුණු බව ගොවි නියෝජිතයෝ පවසති.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ගොවිසෙත ඒකාබද්ධ ගොවි බලමණ්ඩලයේ භාණ්ඩාගාරික ප්‍රියන්ත මහතා මෙසේ පැවසීය.
“අපි මෙතනට ආවේ ඇමතිතුමා හම්බවෙන්න. නමුත් එතුමා හිටියේ නැහැ. අද වෙනකොට උක් ගොවියා දැවැන්ත ප්‍රශ්න රැසකට මුහුණ දීලා ඉන්නවා. වගාවට අවශ්‍ය තෙල් ටික නැහැ, පොහොර සහ වල්නාශක නැහැ. මාස 12න් කපන්න ඕන උක් ගස් අද මාස 36ක් වෙලා. ටොන් 4,000ක් විතර අව්වට වේලෙනවා. ටොන් එකක් කපන්න රුපියල් 4,500ක් යනවා, නමුත් අපිට ලැබෙන්නේ රුපියල් 10,000කටත් අඩු මුදලක්. ලේකම්තුමිය මේ ප්‍රශ්නවලට දාර්ශනික උත්තර දුන්නට බිමේ තියෙන ප්‍රශ්නවලට විසඳුම් ලැබුණේ නැහැ.”
උක් ගොවියන්ගේ සුබසාධන සංගමයේ ලේකම් පී.කේ. පතිරණ මහතා සඳහන් කළේ සේවකයන්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් ලේකම්වරිය පොරොන්දුවක් ලබාදුන් බවයි.
2027 ජනවාරි මාසය වන විට වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බවත්, එතෙක් වර්ජනය අතහැර රාජකාරි වාර්තා කරන ලෙසත් ඇය ඉල්ලා සිටි බව ඔහු පැවසීය.
කෙසේ වෙතත්, මෙම තීරණය සම්බන්ධයෙන් සෙසු සේවකයන් දැනුවත් කර අවසන් තීරණයක් ගන්නා බව සේවක නියෝජිතයෝ පවසති.
