June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මිල සූත්‍රය ප්‍රමාදයි කුලී රථ ගාස්තු ඉහළ යෑම නතර නොවේ

1 min read

ත්‍රිරෝද රථ, පාසල් හා කාර්යාල ප්‍රවාහන රථ, නියාමනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාවට බලය පවරා වසරකට අධික කාලයක් ගතවී ඇතත්, මෙතෙක් එම කොමිෂන් සභාව ගාස්තු සම්බන්ධයෙන් මිල සූත්‍රයක් සකස් කර නොතිබීම මත ඒ සියලු නියාමනයන් ක්‍රියාත්මක වීම ඇනහිට තිබේ.

​මේ හේතුවෙන් කුලී ත්‍රි​රෝද රථ හිමියන්, කාර්යාල ප්‍රවාහන සේවා සහ පාසල් ප්‍රවාහන සේවා රියැදුරන් අසීමිත ලෙස ගාස්තු අයකර ගනිමින් මගී ප්‍රවාහන සේවාවල යෙදෙන බවට නිරීක්ෂණය වී ඇතැයි ප්‍රවාහන වෘත්තීය සමිති සඳහන් කරති.

1991අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධාන කිහිපයක් වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි යාවත්කාලීන කරමින් සංශෝධනය කරමින් පසුගිය වසරේ (2025) මැයි මස 08 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් පසුගිය වසරේ (2025) ජුනි මස 05 වැනිදා සම්මත වී තිබිණ.

එතෙක් එම කොමිෂන් සභාවට බලය පැවැතියේ අන්තර් පළාත් බස් රථ නියාමනය හා සියලුම බස් ගාස්තු සංශෝධනය කිරීමට පමණි. මෙරට තුළ ත්‍රිරෝද රථ ලක්ෂ දහයකට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති අතර ඉන් ත්‍රිරෝද රථ ලක්ෂ අටකට වැඩි ප්‍රමාණයක් දිවයින පුරාම කුලී සේවාවන්වල යෙදෙන බව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි කරන ලද නිරීක්ෂණ මගින් හෙළිවී ඇත.

ජනප්‍රිය පුවත්  වෙනිසියුලාවේ මෙහෙයුමෙන් පසු ඩෙල්ටා බලකාය මැද පෙරදිගට!

එහෙත් බොහෝ ත්‍රිරෝද රථ තමන්ට හිතු මනාපයෙන් වැඩි ගාස්තු අයකරමින් ධාවනයේ නිරත වන බවත් මෙම තත්ත්වය ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ පසුබෑම මත වැඩිවී ඇති බවත් ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටියි.

ත්‍රිරෝද රථ සංගම් මේ තත්ත්වය සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමගින් සාකච්ඡා කළ ද ඒ සියලු සාකච්ඡා ද අසාර්ථක විය.

මේ සම්බන්ධයෙන් විමසීම් සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් සම්බන්ධ කරගැනීමට අප උත්සාහ දැරූවද එකදු නිලධාරියකුගේ දුරකතනයකට ප්‍රතිචාර නොදැක්වීම මත එම උත්සාහය අසාර්ථක විය.

මේ අතර ලක්ෂ තුනකට ආසන්න වැඩිම ත්‍රිරෝද රථ සංඛ්‍යාවක් බස්නාහිර පළාතේ ධාවනය වන බවත් එම ත්‍රිරෝද රථ අන්තර්ජාල මෙවලමක් මගින් ලියාපදිංචි කරගැනීමේ ක්‍රියාදාමයක් කරමින් සිටින බවත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ පැවසීය.

තම පළාතේ ත්‍රිරෝද රථ සඳහා පළමු කිලෝමීටරයට රුපියල් 110 ක් සහ දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 100 බැගින් ගාස්තු අයකිරීමට පසුගිය වර ඉන්ධන මිල වැඩිවූ අවස්ථාවේදී සාකච්ඡා කර උපදෙස් දී තිබෙන බවද හෙතෙම කීවේය.

ජනප්‍රිය පුවත්  ගැඹුරු පීඩන අවපාතය හෙට පස්වරුවේ මෙරටට ඇතුළුවන ලකුණු!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x