July 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පුද්ගලික අංශයේත් ඖෂධ හිඟයක්..!

1 min read

රජයේ රෝහල්වල මෙන්ම පෞද්ගලික අංශයේ රෝහල් සහ ඔසුහල් පද්ධතිය තුළ ද මේ වන විට බරපතළ ඖෂධ හිඟයක් නිර්මාණය වී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පවතින දුර්වල ප්‍රතිපත්ති සහ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ පවතින ගැටලු මෙයට ප්‍රධාන හේතුව වී ඇති බවයි.

ඖෂධ නියාමන අධිකාරිය විසින් තරඟකාරී ලෙස ඖෂධ සැපයීම සඳහා ප්‍රමාණවත් සමාගම් සංඛ්‍යාවක් ලියාපදිංචි කර නොගැනීම නිසා මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වී තිබේ. මේ හේතුවෙන් පෞද්ගලික අංශයට ඖෂධ ලබාදෙන බොහෝ සැපයුම්කරුවන් මෙරට වෙළඳපොළ අතහැර යමින් පවතින බව ද වෛද්‍යවරයා අනාවරණය කළේය.

“ඉහළ ගුණාත්මක බවින් යුතු ඖෂධ මෙරටට ආනයනය කරන සැපයුම්කරුවන්ට, පවතින මිල නියාමනය යටතේ එම ඖෂධ ලබාදීමට නොහැකි වී තිබෙනවා. ශ්‍රී ලංකාව වැනි කුඩා වෙළඳපොළක් තුළ රජය සමඟ තවදුරටත් කටයුතු කිරීමට ඔවුන් දක්වන අකමැත්ත මෙම අර්බුදය වැඩි වර්ධනය වීමට බලපා තිබෙනවා” යැයි වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.

ජනප්‍රිය පුවත්  විදුලි ගාස්තුව ඉහළට!

මෙම තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලික රෝහල් සහ ඔසුහල්වල අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන පෙති, කරල් මෙන්ම එන්නත් වර්ග රැසක විශාල හිඟයක් පවතී. ඇතැම් ප්‍රතිශක්තීකරණ එන්නත් පවා මේ වන විට පෞද්ගලික අංශය තුළ සොයා ගැනීමට නොමැති බව වාර්තා වේ.

රජයේ රෝහල්වල පවතින තදබදය මඟහැර පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ගැනීමට උත්සාහ කරන රෝගීන් ද මේ වන විට දැඩි අසරණභාවයට පත්ව සිටිති. පවතින මෙම අනාරක්ෂිත තත්ත්වය හමුවේ, මූල්‍යමය හැකියාවක් පවතින රෝගීන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදේශ රටවල් කරා යොමු වීමේ ප්‍රවණතාවක් පවතින බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x