June 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පොලිස් රාජ්‍ය ඔබේ තේරිමද?

1 min read

විශේෂ මාධ්‍ය ප්‍රකාශය

2026.06.19

ශ්‍රී ලාංකික ප්‍රජාතන්ත්‍රවාදයට ඇළුම් කරන පුරවැසියන්ගේ අවධානය පිණිස …?

“අනුරවාදයේ” මිථ්‍යාව: ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවේ සිට පොලිස් රාජ්‍යයක උපත දක්වා යන ගමන:

මීට මාස දහඅටකට පෙර ශ්‍රී ලංකාව පැවතියේ ඓතිහාසික කඩඉමකය. දැඩි සමාජයීය නොසන්සුන්තාවය සහ ක්‍රමවේදයේ වෙනසක් සඳහා වූ දැඩි අවශ්‍යතාවය මත පදනම්ව, පොදු මහජනතාව විසින් “අනුරවාදය” නමින් දේශපාලන සංසිද්ධියක් බිහි කරන ලදී.

එය ආර්ථික යුක්තිය, ආයතනික අඛණ්ඩතාව සහ දූෂණයට එරෙහි බිංදුවේ ඉවසීම (Zero Tolerance) යන පදනම මත ගොඩනැඟුණු, බලාපොරොත්තු සහගත සාමූහික ජනවරමක් වුයේය.

නමුත් අද වන විට, ඒ සියලු බලාපොරොත්තු සහගත අපේක්ෂාවන් දැඩි දේශපාලන කලකිරීමක් දක්වා පරිවර්තනය වී තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පාලනය, තමන් විසින්ම දුන් පොරොන්දු සහ ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීමේදී පෙන්වනු ලබන පරස්පරතාවයන් හමුවේ දිනෙන් දින දේශපාලනිකව දුර්වල වෙමින් පවතී.

බලාපොරොත්තු තැබු විපර්යාසය අස්ථානගතවී ඒ වෙනුවට ආර්ථික වාචාලකම හමුවේ ජනතාවගේ කුටුම්බ ආර්ථිකය කුඩුපට්ටම් වී ගොස් තිබේ.

රජය විසින් නිරන්තරයෙන්ම සාර්ථක සාර්ව ආර්ථික කළමනාකරණයක් ගැන උදම් අනති. එසේම ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) 4.7% ක උද්ධමන මට්ටමක පවතින බව පවසමින් තමන්ගේ පාලන න්‍යාය පත්‍රය සාධාරණීකරණය කිරීමට උත්සාහ කරමින් සිටී.

එහෙත්, මෙම මතුපිටින් පෙනෙන දත්තවලට පිටුපසින් ඇති සැබෑ විශ්ලේෂණාත්මක යථාර්ථය මෙරට මහජනතාව මුහුණ දෙන දැඩි ආර්ථික පීඩනය මනාව හෙළි කරනු ලබයි.

සැබෑ තත්වය වන්නේ රටේ ජනතාවගේ සැබෑ ආදායම එකතැන පල්වීමයි. (Stagnant Real Incomes).

මහ බැංකුව ආර්ථිකය ස්ථාවර බව පැවසුවද, නිල දරිද්‍රතා රේඛාව (Official Poverty Line) මේ වන විට එක් අයෙකුට මසකට රුපියල් 17,117 ඉක්මවා යන පෙර නොවූ විරූ මට්ටමකට ඉහළ ගොස් ඇත.

එසේම සාමාන්‍ය පවුලක මූලික පැවැත්ම සඳහා අවශ්‍ය ආදායම වත්මන් වෙළඳපොළ තුළ නොමැත.

ආදයම එකතැන පල්වන අතරේම වක්‍ර බදුකරණයේ පීඩනය ඉහල ගොස් තිබේ.

දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව බදු ආදායම් අනුපාතය (Tax-to-GDP ratio) 16% ඉක්මවා ගොස් ඇත්තේ සෘජු නිෂ්පාදන වර්ධනයකින් නොව, දැඩි වක්‍ර බදු සහ උපයෝගිතා ගාස්තු ඉහළ දැමීම මඟිනි.

මෙයින් සිදුව ඇත්තේ ජනතාවගේ පරිභෝජන ශක්තිය (Disposable income) මුළුමනින්ම සිඳී යාමයි.

එම නිසා මෙරටේ ජනතාව ජීවන වියදම් උගුලකට නතුවී තිබේ.

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් අර්බුදකාරී සමයේ පැවති ඉහළම මට්ටම්වලම නොවෙනස්ව පවතී.

මෙම තත්ත්වයන් යටතේ මහජනතාව බලාපොරොත්තු වූ කාර්යක්ෂමතාව සහ නව අනාගතය පිළිබඳ සිහිනය අද වන විට මුළුමනින්ම බොඳ වී තිබේ.

ජනප්‍රිය පුවත්  ආර්ථික අනතුරේ තරම !

නමුත් ආණ්ඩුව සිදුකරන්නේ බිඳ වැටෙමින් තිබෙන සිහිනය පාරිශුද්ධත්වයේ මිරිඟුවක් මගින් වසා තබන්නටය.

“අනුරවාදයේ” ප්‍රධානතම පොරොන්දුව වූයේ දූෂණය මුලිනුපුටා දැමීමයි. නමුත් පසුගිය මාස 18 තුළ, මතභේදාත්මක කන්ටේනර් මුදාහැරීම, බාල ගල් අඟුරු මිළදී ගැනීම්, අධික මිළට ඩීසල් මිළදී ගැනීම, විනිවිද භාවයෙන් තොර වාහන සහ විදේශ ගමන් බලපත්‍ර (Passport) ටෙන්ඩර් වැනි මහා පරිමාණ වංචා රැසක් මෙම පාලනය තුළින්ම වාර්තා වී තිබේ.

නමුත් ඒ පිළිබදව නීතිය ක්‍රියාත්මක වීම අතීතයේ සිදුවු පරිදිම වංචනිකයින් කිසිදු දඬුවමකින් තොරව දණ්ඩන මුක්තියේ (Impunity) වරප්‍රසාදය ලැබීමයි. ඉතිහාසය එලෙසම ඉදිරියට ඇදේ.

රාජ්‍ය යාන්ත්‍රණය වෙලාගෙන තිබූ සහචරයන්ට වරප්‍රසාද ලබා දීමේ ක්‍රමය (Clientelism) නැති කරනවා වෙනුවට, ජනාධිපතිවරයා වටා අලුතින් රොද බැඳගත් නව සහචරයන් පිරිසක් (Crony Capitalists) රාජ්‍ය ටෙන්ඩර් තමන් සතු කරගනිමින්, පැරණි සෙල්ලමම නව මුහුණුවරකින් අරඹා ඇති ආකාරය අද පැහැදිලිව පෙනෙන්නට තිබේ.

පැරණි යථාර්තය වෙනස් කිරීමට අපොහොසත්වු ආණ්ඩුව මැකියාවෙලියානු හැරවුමක් වන මර්ධනයට ගමන් අරඹා තිබේ.

එය ආරම්භ වන්නේ අහිංසක මර්ධනයක් ලෙසටය. එහිලා ආණ්ඩුව මේ වන විට වැඩ අරඹා ඇත්තේ නීතියේ ආධිපත්‍යය දේශපාලන අරමුණු දිනාගැනීම සඳහා අවභාවිත කිරීමටය. (Weaponizing the Rule of Law)

නිකොලෝ මැකියාවෙලි (Niccolò Machiavelli) ප්‍රකාශ කළ පරිදි, පාලන තන්ත්‍රයක් ජනප්‍රියත්වයෙන් ගිලිහී යන විට එය පැවැත්ම සඳහා මර්දනය දෙසට යොමු වේ.

මාස 18ක ඇවෑමෙන්, මෙම මර්දනකාරී ලක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) හරහා ඉතා සූක්ෂ්ම ලෙස ක්‍රියාවට නැංවෙන අයුරු දැකගත හැකිව තිබේ.

රජය විසින් මේ වන විට රාජ්‍ය නීති බලාත්මක කිරීමේ ආයතන භාවිතා කරනුයේ යුක්තිය පසිඳලීමට නොව, දේශපාලන විරුද්ධවාදීන් සහ විවේචකයන් මර්දනය කිරීමේ දේශපාලන මෙවලමක් වශයෙන් බව පෙනේ. මෙය “නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීමක්” (Weaponization of rule of law) ලෙස අපි සෘජුවම හඳුන්වන්නෙමු.

නමුත් මෙම අක්‍රමිකතාවය වසා තබන්නේ පැරණි දුෂණ සෙවීම හරහා මහජන ප්‍රසාදය ලබා ගැනීමේ කඩතුරාව තුළිනි.

මතුපිටින් බලන සාමාන්‍ය වැසියෙකුට, පසුගිය රාජපක්ෂ පාලන සමයන්හි සිදුවූ වංචා සෙවීම සඳහා CID සහ CIABOC විසින් මෑතකදී ගනු ලැබූ ක්‍රියාමාර්ග සහ මහා පරිමාණ වැටලීම් ඉතා සාධාරණ, නීත්‍යානුකූල පියවරක් ලෙස පෙනී යා හැකිය.

ජනප්‍රිය පුවත්  විගණකාධිපති එලවූ ‘ටිකට්’ මඩ බලකාය සහ ජනාධිපති කාර්යාලයේ ‘සමකාලීන මිතුරා

මහජනතාව ද දූෂිතයන්ට දඬුවම් දෙනු දැකීමට කැමැත්තෙන් පසුවන බැවින්, මෙම ක්‍රියාවලීන්ට යම් ජනප්‍රියත්වයක් ද හිමිව තිබේ.

නමුත් මෙහි ඇති සැබෑ දේශපාලන කුමන්ත්‍රණය වනුයේ, වත්මන් පාලනයේ මහා පරිමාණ දූෂණ යටගසන අතරතුර, මහජන මතය සහ මාධ්‍ය නිදහස පාලනය කිරීමට CID සහ CIABOC බලතල ඒකපාර්ශ්වීයව යොදවා තිබීමයි.

මේ සම්බන්ධයෙන් හුවා දැක්විය හැකි උදාහරණ බොහෝමයකි.

එක් උදාහරණයක් වන්නේ නිදහස් මාධ්‍ය ඉලක්ක කරන ලද ආකාරයයි. පොලිස් වාර්තාකරණය සම්බන්ධයෙන් ‘අරුණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම වැනි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් CID වෙත කැඳවීම සහ රජය විවේචනය කරන නාළිකාවල විකාශන බලපත්‍ර අවලංගු කිරීමට උත්සාහ කිරීම හරහා මාධ්‍ය බියගැන්වීමේ ක්‍රියාවලියක් පැහැදිලිවම පෙනෙන්නට තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ නීතිය අවභාවිතයද මේ සඳහා ලබා දිය හැකි කදිම උදාහරණයකි. ‘අධිකරණයට, අතිරේක විනිශ්චය සභාවකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ (සංශෝධන) පනත’ මඟින් පොලීසියට ස්වාධීනව නඩු පැවරීමේ බලයක් ලබා දී නොමැති වුවද, මෑතකදී විපක්ෂයේ දේශපාලන නායකයින් සහ ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින් CID ආයතනය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් උත්සාහ දැරුවේ දේශපාලනික මර්ධනයකට බව කිව යුතුව තිබේ.

සිවිල් හා දේශපාලන ක්‍රියාකාරීන් නිහඬ කිරීමද මෙම සියුම් මර්ධනයේ එක් කොටසක් වී තිබේ. රජයේ ක්‍රියාකලාපයන් විවේචනය කරන දේශපාලන ක්‍රියාකාරිකයන්, මාධ්‍යවේදීන් සහ සිවිල් ක්‍රියාකාරීන් “මහජන කැළඹීම් ඇති කිරීම” වැනි පදනම් විරහිත චෝදනා මත CID වෙත කැඳවා ප්‍රශ්න කිරීම් හා දූෂණ චෝදනා මත සිරභාරයට ගෙන අධිකරණය හරහා රිමාන්ඩ් ගත කිරීම මෙම වැඩපිළිවෙළෙහි ම කොටසක් වී තිබේ.

මෙහිලා පොලීසියේ චර්යාව වී ඇත්තේ විමර්ෂණය කොට අත්අඩංගුවට ගෙන අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීම වෙනුවට, අත්අඩංගුවට ගෙන අධිකරණය හරහා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරමින් පරීක්ෂණ අවසන් නොවු පදනමින් දිගින් දිගටම රිමාන්ඩ් බන්ධනාගාරයේ තබා ගැනීමයි. එසේ නොවන්නේ නම් ත්‍රස්තවාදය වැලක්වීමේ පනත යටතේ රදවා තබා ගැනීමට ජනාධිපතිගේ නියෝගයක් ලබා ගැනීමයි.

අප මෙම ප්‍රවනතාවය පිළිබදව සමාජයට දැඩිව අනතුරු අඟවන්නෙමු.

ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කිරීමේ නාමයෙන් ක්‍රියාත්මක කරනු ලබන්නේ දේශපාලනික ප්‍රයෝගයකි.

මෙලෙසට තොරාගත් යුක්තියක් ඉටු කිරීමට යාමේ ප්‍රවනතාවය ප්‍රජාතන්ත්‍රවාදය අකුලා දමමින්, විපක්ෂය සහ විරුද්ධ මතධාරීන් සහමුලින්ම විනාශ කරමින් “පොලිස් රාජ්‍යයක්” (Police State) බිහි කිරීමට ගන්නා පූර්වගාමී පියවරකි.

මෙවැනි ගමනක අවසානය විය හැක්කේ කාම්බෝජයේ හුන්සෙන් පාලනය මෙන් එකම තනි පක්ෂයකට රාජ්‍ය නතුවෙන (Dominant Party State) ඒකාධිපති ගමනක ආරම්භයයි.

ජනප්‍රිය පුවත්  ටිං ටිං ගේ කතා වස්තුව - පස් වැනි කොටස

එම නිසා අද අප සිටින්ඉනේ ඉතිහාසයේ කඩඉමකය.

ශ්‍රී ලංකාව 1931 වසරේ සිට වසර සියයකට ආසන්න කාලයක් සර්වජන ඡන්ද බලය සහ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සුරැකි රටකි. වසර 2500ක් තිස්සේ අප බුදු දහම ආරක්ෂා කළා සේම, මෙම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ද අපේ අනන්‍යතාවයේ කොටසකි.

නීති ප්‍රතිසංස්කරණ සහ ජාතික ආරක්ෂාවේ මුවාවෙන් අප සතු මෙම අමිල ප්‍රජාතන්ත්‍රවාදී උරුමය අහිමි වීමේ අවදානමකට රට මුහුණ දී සිටීම පිළිබඳව “දිනන දකුණ” සාමූහිකය ලෙස අපි දැඩි කණගාටුව සහ විරෝධය පළ කර සිටිමු.

ඉතිහාසය අපට කියාදෙන පාඩම් අප සැහැල්ලුවට නොගත යුතුය.

1933 දී ජර්මන් වැසියන් දැඩි ආර්ථික අනාරක්ෂිතභාවය සහ වෙනසක් සඳහා වූ අපේක්ෂාව පෙරදැරිව, තමන්ගේම ඡන්දයෙන් ඇඩොල්ෆ් හිට්ලර් බලයට පත් කළහ. ඔවුන් එදා ඡන්දය දුන්නේ මහා විනාශයකට මඟ පාදන්නට නොවේ.

නමුත්, රජය විසින් තම විරුද්ධවාදීන් එකින් එක ඉලක්ක කර මර්ධනය කරද්දී ජනතාව නිශ්ශබ්දව සිටීමේ අවසාන ප්‍රතිඵලය වූයේ සමස්ත ජර්මනියම ඛේදවාචකයකට ඇද වැටීමයි.

මෙම තීරණාත්මක මොහොතේ, ජර්මානු දේව ධර්මවේදී මාර්ටින් නිමෝලර් (Martin Niemöller) එදා ප්‍රකාශ කළ සුප්‍රසිද්ධ ප්‍රකාශය අප නැවත සිහිපත් කරන්නට අවස්ථාවක් කොට ගනිමු.

“පළමුව ඔවුහු සමාජවාදීන් සොයා ආහ. මම නිහඬව සිටියෙමි. මක්නිසාද මම සමාජවාදියෙකු නොවූ බැවිණි.

පසුව ඔවුහු වෘත්තීය සමිතිවාදීන් සොයා ආහ. මම නිහඬව සිටියෙමි. මක්නිසාද මම වෘත්තීය සමිතිවාදියෙකු නොවූ බැවිණි.

පසුව ඔවුහු යුදෙව්වන් සොයා ආහ. මම නිහඬව සිටියෙමි. මක්නිසාද මම යුදෙව්වෙකු නොවූ බැවිණි.

අවසානයේ ඔවුහු මා සොයා ආහ. එදින මා වෙනුවෙන් කතා කිරීමට කිසිවෙකු ඉතිරිව නොසිටියේය.”

රජය විසින් පවත්වනු ලබන මෙම ව්‍යාජ නීතිමය රංගනයන් පිටුපස ඇති සැබෑ ඒකාධිපති ස්වරූපය වටහා ගන්නා ලෙස අපි ශ්‍රී ලාංකීය සමස්ත සිවිල් සමාජයෙන් ඉල්ලා සිටිමු. අපට අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය මුළුමනින්ම අහිමි වීමට මත්තෙන්, වසර සියයක් පුරා රැකගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙරට එන ලෙස “දිනන දකුණ” සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටී.

දිනන දකුණ සාමූහිකය වෙනුවෙන්

නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x