කෙබරයාගේ ගණිතය
1 min read
ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක උපාධිධාරී තෙමේ පසුගිය දා ප්‍රකාශ කළේ ඉන්ධන මිල පිළිබඳවය.
එතුමාණෝගේ නිර්ධන පංති මුඛයෙන් කියවුනේ (ශ්‍රී මුඛයෙන් නොවේ !) නියමිත මිලට ඩීසල් විකුණන්නේනම් දැන් ඩීසල් ලීටරයක මිල 720 ක් විය යුතු බවය. එසේ පැවසූ අපගේ නිර්ධන පන්ති ජනාධිපතිතුමානෝ කියා සිටියේ, ආණ්ඩුව (මහා භාණ්ඩාගාරය) රුපියල් 100 ක සහනාධාර දී දැන් තෙල් දෙන්නේ රුපියල් 392 කට බවය. පොදු ජන දුක දන්න ජනාධිපතිලා වැඩ කරන්නේ එහෙවු ආකාරයට බව අපගේ නිර්ධන පන්ති ජනාධිපතිතුමා මේ මගින් පවසන්නේය.
ඩීසල් ලීටරයක මිල විය යුත්තේ රුපියල් 720 ක් නම්, එම මිලට නොදෙන්න ආණ්ඩුව රුපියල් 100 ක සහනාධාරයක් ලබා දෙන්නේනම්, එවිට ඩීසල් ලීටරය විය යුත්තේ 720 අඩු කිරීම 100 = 620 ය. එහෙත් දැන් ඩීසල් ලීටරයක මිල 392 ය. 392 ට ආණ්ඩුවේ සහනාධාර 100 එකතු කළ ද ඩීසල් ලීටරයක ගාණ විය යුත්තේ 492 ක ය.
නිර්ධන පංති ව්‍යාපාරයේ, විප්ලවවාදී (බොල්ෂෙවික් !) ජනාධිපති අනුර කුමාර කියන අන්දමට, පාඩුව රුපියල් 100 නම් ඒ පාඩුව රජය දැරූ විට ගාන විය යුත්තේ ඩීසල් ලීටරය රුපියල් 492 නම්, ඔහු කියන රුපියල් 720 අගය තීරණය වන්නේ කොයිබින් ද ? ඒ අමතර පිරිවැයේ ගණන රුපියල් 228 කි. ඒ ගාන කාගේද ?
අපගේ නිර්ධන පන්ති ව්‍යාපාරයේ විප්ලවවාදී බොල්ෂෙවික් නායක ජනාධිපති අනුර කුමාර වනාහි විද්‍යාවේදී උපාධිධාරියෙකි. එනම්, උගත් බුද්ධිමත් මල් පැළයකි. එවන් උගත් බුද්ධිමත් මල් පැළයක් වූ නිර්ධන පංති ව්‍යාපාරයේ බොල්ෂෙවික් නායක ජනාධිපති අනුර කුමාරට ම හීනෙන්වත් වැරදීමට හැකියාවක් ඇතැයි අපටනම් නොසිතේ. එහෙත් එහෙම හිතුවත් අපිට ඇතිවන ප්‍රශ්ණය වන්නේ, අර රුපියල් 228 යන්නේ කාගේ ගාවට කියාය.
ඩීසල් ලීටරයක ඇත්ත මිල රුපියල් 720 වේ නම්, එයින් රුපියල් 100 ක් ආණ්ඩුව දරණවානම්, අපට මේ වන විට ඩීසල් ලීටරය දෙන්නේ රුපියල් 392 ට නම්, ඉතිරි රුපියල් 228 යනු කුමක්ද? ඉතිරි රුපියල් 228 යනු මාටියා පාර නොවේනම් අපගේ නිර්ධන පන්ති ජනාධිපතිතුමනි. එය අන් කුමක්ද?
ඔබ දැන් ඉන්නේ බොහෝ සෙයින් මානසිකව පැහැරිලා ය. ඔබගේ මුහුණ දකින විට අපට එය කියවාගන්නට හැකියි. ඒ නිසා ඔබ කට ඇරියම කියැවෙන්නේ ඔබට ඕන දේ නොවේය. ඔබ වූ කලී බොරුවේ උපත ය. බොරු කීම ඔබට ඇති උපන් හැකියාවකි. “පෝස්ට් සිටි”ය හදන්නට යන කළු ගල් ප්‍රමාණය ගණිතමය ආකාරයෙන් ඔබ කීවේ මෙරට හුදී ජනයාගේ ඇස් නිලංකාර වන ආකාරයෙන් බව අප දන්නේය. එහෙත්, අපගේ නිර්ධන පන්ති ව්‍යාපාරයේ (බොල්ෂෙවික්) නායක අතිගරු ජනාධිපතිතුමනි, ඔබ දැන් ජනාධිපතිය. ඔබේ කරුමයට හෝ අපගේ කරුමයට හෝ ඔබ දැන් ජනාධිපතිය. ඉතින් ඒ නිසා ඔබ දැන් කියන ගණන් අප ද ගණන්කරන්නේ ය. ඔබ විපක්‍ෂයේ සිටියදී කී ගණන් ගණන් නොකෙරුවාට (ඒ හින්දම ඔබ ජනාධිපති ද විය) අප ඔබ ජනාධිපතිව සිටින විට කියන ගණන් ගණන් කරන්නේය. එවිට අපට පෙනෙන්නේ ඇත්තටම ඔබට මංඤං කියාය.
අපගේ නිර්ධන පන්ති ව්‍යාපාරයේ (බොල්ෂෙවික්) ජනාධිපතිතුමනි. අප ඔබගේම ගණං මිණුං අනුව අසන ප්‍රශ්නය වන්නේ ඉතිරි රුපියල් 228 කුමක්ද කියාය. ඒ ඔබට ද හොරෙන් ඔබෙන් කියැවුනේ ඒ වූ කලි ඔබලා හොරා කන ගාන නොවේද ?එක ඩීසල් ලීටරයකින් රු. 228 ක් හොරා කන්නේ නැත්නම්, ඒ රුපියල් 228 යනු කුමක්ද?
ඇත්තටම ඔබ අවංකය. ඔබ කීවේ ඇත්ත ඩීසල් ලීටරයක වටිනාකමට රුපියල් 100 ක් එකතු කළ විට එන ගාණය. ඒත් ඔබ කිවේ මාටියා පාරද එකතු කළවිට එන මිළය. එහෙත් ඔබ කීවේ ඩීසල් ලීටරයක මිල රු. 720 විය යුතු බවය. එසේ නම්, මහාභාණ්ඩාගාරයෙන් දැරිය යුතු මිල රුපියල් 100 ය විය නොහැකිය.
එසේ නම්, මහාභාණ්ඩාගාරය විසින් දැරිය යුතු ගාන රුපියල් 100 + 228 ය. එනම්, රුපියල් 328 ය. එහෙත් ඔබ කියන්නේ දරන්නේ රුපියල් 100 ක් බවය.
මේ ලියන මම ඔබ වැනි විද්‍යා උපාධිධාරියෙක් නොවේ. එහෙත්, ඔබගේ ගණිතමය කියැවීම ලිහා ගැනීමේ සාමාන්‍ය බුද්ධියක් මා සතුව තිබේ. ඔබ වනාහී මෙරට පහල වූ නිර්ධන පන්ති ව්‍යාපාරයේ අග්‍රගන්‍ය නිර්ධන පන්ති නායකයා ය. ඔබ කාට බොරු කළ ද නිර්ධන පන්තියට බොරු නොකරන බව මට තවමත් විශ්වාසය. ඉතින් නිර්ධන පන්ති නායකයානෙනී, මේ රුපියල් 228 යනු කුමක්ද ? එය කාගේ කොමිෂ් මුදල වන්නේද? නිර්ධන පන්ති ව්‍යාපාරයට එය අයත් වන්නේ ද? අනේ අපටනම් ඕවා තේරෙන්නේම නැත. අපගේ නිර්ධන පන්ති ව්‍යාපාරයේ නායකයාණෙනි, අපට එය තේරුම් කර දෙනු මැනැවි. ඔබ තරම් එය කියා දිය හැකි කෙනෙකු අප හමුවේ තවත්නම් ඇත්තේ නැත.
