කයිය සහ කයිය කෙලීම
1 min read
ජනාධිපති අනුර කුමාර කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට “වැඩ්ඩේ” ය. ඒ “වැඩ්ඩේ” රුපියල අවප්‍රමාණය වන එක බේරාගන්න ගහපු “ප්ලෑන්” එක කියන්නට නොවේය. ලෝක වෙළඳපොලේ තෙල් මිල අප්පට සිරි වෙන්න අඩුවෙන එකේ ප්‍රතිලාභය මහජනතාවට ලබා දෙන හැටි කියන්නට නොවේය. වී ගොවියාට වී සඳහා සාධාරණ මිලක් ලබාදෙන අන්දම කියන්නට නොවේය. විදුලිය ගාස්තු අඩු කරන අන්දම ගැන කියන්නට නොවේය. රට වැටී ඇති තැනින් උඩට ඔසවන හැටි කියන්නට නොවේය. ජනාධිපති ආවේ මේ එක මගුලක්වත් කියන්නට නොවේය. කොටින්ම, ධනාත්මක එක සිතිවිල්ලක් උපදවන්න සමත් එක වචනයක්වත් මේ ජනාධිපතියා කීවේ නැත. ඒකා පුතා පාර්ලිමේන්තුවේ ගත්තු කාලයට වියදම ගෙවන්නෙත් අපය.
මේ අරුම පුදුම ජනාධිපතියා පැමිණ කීවේ, අතීත අපරාධවලට වගකිවයුත්තන් අල්ලන අන්දම ගැනය. හොරු මැඩලන විදිය ගැනය. ඒ ටික අසා දැන් සකල දේශවාසී නිර්ධනීන් සතුටින් ඉපිල යන්නේය. බඩපොත්ත පිටපොත්තට ඇලුනත් අපේ ජනාධිපතියා හොරු අල්ලන්නේය. ඒ පුවත දුටු විට මිනිසුන්ගේ බඩ පිරෙන්නේය.
අද මිනිස්සුන්ගේ බඩ පිරෙන්නේ නැත. බඩ පිරී තිබෙන උදවියගේද ව්‍යාපාර ගැන හිතත්දී හිත පිරී නැත. ඇත්තේ ගිනි ගොඩකය.
බදු වැඩිය. දඩ වැඩිය. මිල වැඩිය. වියදම වැඩිය. ආදායම අඩුය. කළමනාකරණය අන්තිම අසීරුය. යමක් කමක් තියන උන්දැලාද ඉන්නේ එහෙවු අමාරුවකය. මේ එක මගුලකටවත් ජනාධිපතිට උත්තර නැත. මොනවා කරනවාදැයි කියන්නෙත් නැත. මේකා පාර්ලිමේන්තුවට පැමිණ කරන්නේ සුපුරුදු හොරු ඇල්ලීමේ නාඩගම ගැන කයිය කෙලීම ය.
කයිය කිව්වාට කයිය කියන්නේ නරක දෙයක් නෙවේ. අතීතයේ මිනිසුන් කයිය කිව්වේ සමාජ ප්‍රාග්ධනයට ය. එනම්, ප්‍රතිමාන, අන්‍යෝන්‍ය විශ්වාසය, අවබෝධය තුළින් පුද්ගලයන් අතර ගොඩනැගෙන සාමූහික ශක්තිය “කයිය” විය.
අලි රංචුව ගැන සඳහන් කරනවිට තුන් දෙනා කයිය, හත්දෙනා කයිය යනුවෙන් කීවේ ඒ හන්දා ය. “උක්කුවාගේ බලු කයිය” කියා කීවේ උගේ බලු රංචුව ගැනය. ඒ අනුව කයිය යැයි එකල කීවේ සමූහයට ය.
වල් කෙටීම, නියර බැඳීම, සී සෑම වැනි කාර්යයන් සඳහා පිරිමි කයිය යෙදවුනේය. කුරහන් කපන්නට ගෑනු කයිය යෙදවුනේය. කයියට චාරිත්‍ර වාරිත්‍ර පැවැතියේය. නියමිත දිනයේ දී අහවල් කාර්ය සඳහා පැමිණෙන ලෙස කයියට බුලත් දෙන්නේය.
කයිබත කියා ද එකක් තිබේ. එළවළු වෑංජනයක් පොල් සම්බලක් වැනි දෙයකින් උදේ කයිබත යුක්ත වේ. දවල් කයිබතට කැවුම් කෙසෙල් ගෙඩි සමග ඉඹුල් කිරිබත් ද සැපයේ. රාත්‍රියටනම් කයිබත පට්ට පදිරිය. සුදුබත් රතුබත් මෙන් ම මස් හෝ මාළු ද, අල, කරවල වැනි ඒ යුගයේ සුවිශේෂ ආහාරවලින් කයිබත සැකසේ.
කයියට ආපු උන්දැලා ලැබෙන අවස්ථාවකදී කරන කතාබහට කීවේ කයිවාරුව කියාය. එහෙත් ජනාධිපති අනුර කුමාර කයිතං වී ඇත්තේ මේ කිසිම තේරුමකට අයත් නොවන පරිදිය.
රටක නායකයකු කළ යුත්තේ රට හා ජනතාවට වෙසෙසින්ම බලපාන ප්‍රශ්න සඳහා ඇති තම විසඳුම කියාපෑමය. මේ ජනාධිපතියා ඒක නොකර, ඔහුට හුරු පුරුදු වෛරය පමණක් වැපිරීම ජීවන විලාසය බවට පත්කරගෙන ඇත්තේය. ඒ චිත්‍රපටිය බලන්නට මිනිස්සු ඉන්න ඕනා බඩ පිරිලාය.
දැන් රට තියෙන්නේ බඩේ ගින්දරත් හිතේ ගින්දරත් නහුතයටම නැගලාය. එහෙවු රටක, ජනාධිපති පාර්ලිමේන්තු පැමිණ හොරු අල්ලන වික්‍රමය ගැන කියන විට ජනතාවට පට්ට ආතල්ය. බඩගිනිද හිතේ ගිනිද පට පට ගා නිවේය. ජනාධිපතිගේ ඒ කතාවෙන් බඩ පිරෙන්නේය. බදුබර අඩු වන්නේය. රුපියල ශක්තිමත් වන්නේය. වී මිල ඉහළ යන්නේය. ජන දුක නිවෙන්නේය. ඒ නිසා “කයියනායක” කියා ජනපතිට අපහාස නොකළ යුත්තේය. “කයිය” යහපත්ය. අයහපත් වන්නේ කයිය කෙලීමය. මූ කරන්නේ ඒකය.
කයිය කෙලින්නට වැඩි කල් ලබාදීම භයානකය. කෙටියෙන් කියන්නට ඇත්තේ ඒකය.
