“ටීම් ” එක කවු ද?
1 min read
සිංහල අලුත් අවුරුද්ද එළැඹෙන්නේ මුළු මහත් රටම හද්දා අමාරුවේ වැටී ඇති තත්ත්වයක් තුළ ය. එහෙන්, ගල් අඟුරු හොරකමේ ප්‍රතිඵලයක් ලෙස විදුලිය බිල වැඩිවීමේ අවදානම ය. අනෙක් පසින්, තෙල් මිල හැටට හැටේ වැඩිවීම ය. තෙල් මිල කීවාට, ඉන්ධන පමණක් නොව පොල්තෙල් මිල ද වැඩි වී ඇත. හෝමූස් සමුද්‍ර සන්ධියෙන් කීරි සම්බා පුරවා ගත් නැවක් එනවා යැයි අප නම් අසා නැත. ඒ වුව ද කීරි සම්බාද දැන් ”කළු නික” වගේ ය.
සසිරි බරින් පිරි සිරි ලංකාවේ කන්න ඕන දේ වගා කිරීම ද දැන් ඇත්තේ අවදානමේ ය. ඒ, නයිට්‍රජන් පිරි පොහොර ටික ද ලැබෙන පාටක් නැති නිසාය. ඇමරිකා එක්සත් ජනපදයේ මූල්‍ය දායකත්වයෙන් පවත්වාගෙන යනු ලබන ‘‘ඇඩ්වොකාටා” වැනි ආයතන මතය කුළුගන්වන්නේ, සියල්ල විකිණීමට ය. බියගම පොහොර සංස්ථාවේ එදා නිපද වූ යූරියා පොහොර අදත් තිබුණා නම් කොච්චර හොඳදැයි දැයි තේරෙන්නේ තව ඉදිරියට ය.
ඇඩ්වොකාටා මහ මොලකරු ධනනථලා ආර්ථික අර්බුදය හමුවේ කීවේ කණිජ තෙල්හි පවත්නා රාජ්‍ය ඒකාධිකාරීත්වය බිඳ දමා පුද්ගලික අංශයට ඉඩ දුනහොත් එහි වාසිය පාරිභෝගිකයාට හිමිවන බවය. එහෙත් අද එවැන්නක් මහපොළොවේ දක්නට නැත. සිදුවන්නේ, එකිනෙකට තරගකාරීව මිල ඉහළ දැමීම මිස අන් කිසිවක් නොවේය.
ජ.වි.පෙ. බලයට ආවේ දේශපාලන සදාචාරය ගැන නහුතයක් කතා දෙසා බාලාය. මිනිස්සු (වැඩිපුරම මැද පන්තිය) විශ්වාසය තැබුවේ ඒ මෝස්තර කතා ය. දීපු කයිය මුලින්ම පත්තුූයේ කථානායක රංවලගේ ආචාර්ය උපාධියෙන් ය. ජ.වි.පෙ. කළේ වහාම රංවලව තනතුරෙන් අයින් කිරීම ය.
රංවලට බෙදපු හැන්ද දැන් ඉන්න කතානායකට අදාළ වන්නේ නැත. රංවල කතානායක කාමරයේ ආතල් ගත්තේ නැත. දැන් ඉන්න කතානායකට අප කියන්නේ ගලානායක කියාය. ඒ් අතින් රංවල අහිංසක ය. ගලානායක යහතින් වැජඹීමෙන් පෙන්වන්නේ දේශපාලන සදාචාරයේ සලුපට අහසේ පා වීමය.
විදුලියබල හා බලශක්තිය ඇමති අනුර ජයකොඩිද ඒ වගේම වාසනාවන්ත ය. රාජ්‍ය සේවක අනුරට විරුද්ධව උසාවියේ නඩු පැවරෙන්නේ ය. අමාත්‍ය ජයකොඩි උසාවියට ගොස් ඇප මත නිදහස් වන්නේ ය. ගල් අඟුරු හොරකම දැන් ඇත්තේ අතේ පත්තු වීය. ඒත් ජනපති අනුරට අමාත්‍ය අනුර ජයකොඩි ශාන්ත දාන්ත තීන්ත කූඩුව ය. හොරකමක් කරන්නට තියා එවැන්නක් සිතන්නටවත් ඔහු කටයුතු කර නැත.
රට පාලනයේ දී ද ආණ්ඩුව අසමත් ය. හොරු අල්ලන්නට ආවත්, දැන් අල්ලන්නට වී ඇත්තේ තමන්ගේම හොරුන්වම ය. දේශපාලන සදාචාරයේදීත් ආණ්ඩුව දැන් හත් පොළේ ගාගෙන අවසන් ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තොර ලෝකයක් ආණ්ඩුවට ඇත්තේ ද නැත. විදේශ ප්‍රතිපත්තියේදී ඇමරිකානු පදයට නටනු හැර වෙන පාද තැබීමක් දකින්නට ඇත්තේ ද නැත. ආර්ථිකය ලිබරල්කරණයත්, දේශපාලනයේ සදාචාරය කුණු වී ගඳ ගසන ඉමට පැමිණීමත්, ජනතාව අපා දුකකට ඇද වැටීමත් හැර දැන් දක්නට ඇත්තේ කුමක් ද?
එබැවින් එළඹ ඇත්තේ, මේ වැහැරුණු, කල් ඉකුත් වූ මගෙන් රට එළියට ගෙන ඒමේ අවස්ථාව ය. එය කළ හැක්කේ කාට ද? කවර පිරිසකට ද, පුද්ගලයා වෙනුවට කණ්ඩායම අද වුවමනාවී ඇත. වැදගත් වන්නේ කණ්ඩායමක මෙහෙයුමකි. නිකම්ම නිකම් කණ්ඩායමක් නොව, නිවැරදි කණ්ඩායමක මෙහෙයුමක් ය.
එය ලබා දිය හැක්කේ කවරකුට ද?
