April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉරාන පාපන්දු කණ්ඩායමේ ඉරණම ගැන ලොවම විමසිල්ලෙන් සිටියදී ක්‍රීඩිකාවෝ යළි මව්බිමට!

1 min read

ඔස්ට්‍රේලියානු රැකවරණය ලබා ගැනීමේ ඉල්ලීම් අත්හැර දැමූ ඉරානයේ ජාතික පාපන්දු ක්‍රීඩිකාවන් පස් දෙනා සංචාරක සංචිතයේ අනෙක් සාමාජිකාවන් සමග දැන් යළි මව්බිමට පැමිණ සිටිනවා.

මැලේසියාව හා ඔ්මානය හරහා නැවත පියාසර කළ ඔවුන් ඊයේ (බදාදා) සන්ධ්‍යාවේ තුර්කියේ සිට දේශසීමාව පසු කරමින් ඉරානය ට පැමිණියා.

කණ්ඩායම නැගෙනහිර තුර්කියේ ඉග්දිර් ගුවන් තොටුපලට අඟහරුවාදා ගොඩබැස තිබෙන්නේ එරට වේලාවෙන් මධ්‍යාහන දොළහට පමණ බව වාර්තා වනවා. එතැන් සිට ඔවුන් හෝටලයක් වෙත ගියේ පොලිස් රැකවල් පිරිවරක් සමග බව තුර්කියේ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ පැවති ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයේ ඉරාන ජාතික ගීය වාදනය වෙද්දී නිහඬව සිටීම නිසා ‘යුදසමයේ ද්‍රෝහීන්’ ලෙස හංවඩු ගසනු ලැබූ කණ්ඩායමට නැවත ඔවුන්ගේ රටට ගිය විට භයානක විපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට අවධානය යොමුවීමෙන් පසුව මුලදී ක්‍රීඩිකාවන් පස් දෙනෙක් ඔස්ට්‍රේලියාවේ මානව හිතවාදී වීසා ඉල්ලා සිටියා.

පසුව ඉරාන සංචිතයේ තවත්‌ දෙදෙනෙක් වීසා ඉල්ලා සිටි අතර ඔස්ට්‍රේලියානු රජය මේ හත් දෙනා ට ම රැකවරණය ලබා දීමට එකඟ වුණා. කෙසේ වෙතත් පස් දෙනෙක් ඔවුන්ට යළි මව්බිමට යාමට අවශ්‍ය බව කියා සිටි අතර අවසානයේ ඔස්ට්‍රේලියාවේ නතර වුනේ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් පමණයි. ඔස්ට්‍රේයාවේ රැඳි සිටීමේ තීරණය වෙනස් කළ පස්වැනි හා අන්තිම ක්‍රීඩිකාව කණ්ඩායමේ නායිකා සහරා ඝාන්බාරි (Zahra Ghanbari) බව ඉරාන රජයේ මාධ්‍ය ප්‍රකාශ කළා.

ජනප්‍රිය පුවත්  දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය දැවැන්ත අර්බුදයක !

ඔස්ට්‍රේලියාවේ රැකවරණ පතා සිටි ක්‍රීඩිකාවන් පසුව එම තීරණය වෙනස් කළේ ඔවුන්ගේ පවුල්වලට තර්ජනය කරමින් ඒ හරහා ඉරාන බලධාරීන් ඔවුන් වෙත එල්ල කළ පීඩනය නිසා විය හැකි බවට මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසා තිබෙනවා.

ඉස්ලාමීය විප්ලවකාරී මුර සේනාංකය (IRGC – Islamic Revolutionary Guard Corps) සමග කටයුතු කරන ඉරානයේ පාපන්දු සම්මේලනය මේ ක්‍රීඩිකාවන්ගේ ඉරානයේ වෙසෙන පවුල්වලට දැඩි පීඩනයක් එල්ල කර තිබෙන බවට තමාට තොරතුරු ලැබී ඇතැයි රටින් පිටුවහල්වී සිටින හිටපු ඉරාන ජාතික ෆුට්සාල් ක්‍රීඩිකා ෂිවා අමිනි (Shiva Amini) අනාවරණය කර තිබෙනවා.

“ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් නැවත ඔවුන්ගේ රටට යාමට තීරණය කළේ ඔවුන්ගේ පවුල්වලට කළ තර්ජන දරාගත නොහැකි වූ නිසා. තර්ජනයෙන් පෙලඹවීම සිදුවුනේ අනුකම්පා රහිත ලෙසයි” යනුවෙන් ඇය X වේදිකාවේ ලියා තිබෙනවා. මේ ක්‍රීඩිකාවන් යළි සියරට පැමිණියේ නැත්නම් හෝ ඔවුන් ඉරාන රජයට එරෙහිව ප්‍රකාශයන් සිදුකළහොත් ඔවුන්ගේ දේපල සියල්ල රජය භාරයට ගන්නා බවට ඥාතීන්ට බලපෑම් කර ඇති බව සමාජ ක්‍රියාකාරීන් පවසනවා.

ඝාන්බාරි නායිකාවගේ තීරණයට සුබපතමින් ඉරාන මාධ්‍ය වාර්තා පළ කළ අතර ඇය නැවත මව්බිම වැළඳ ගැනීමට පැමිණෙන බව IRNA ප්‍රවෘත්ති ඒජන්සිය කියා සිටියා. ඇය විසින් ගනු ලැබුවේ දේශ ප්‍රේමී තීරණයක් බව Mehr පුවත් ඒජන්සිය ප්‍රකාශ කළා.

ඉරානයේ ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින්, ඉරාන කාන්තා ජාතික පාපන්දු කණ්ඩායමේ ජාතික ජීවය හා දේශ ප්‍රේමය විසින් මේ කණ්ඩායමට එරෙහි සතුරාගේ සැලසුම් පරාජය කර තිබෙන බව පැවසුවේ ඔස්ට්‍රේලියාවේ රජය අමෙරිකාවේ ට්‍රම්ප්ගේ පිට්ටනියේ සෙල්ලම් කරන බව කියමින්.

ඉරාන පාපන්දු ක්‍රීඩිකාවන් යළි ඔවුන්ගේ පවුලේ අයගේ හා මව්බිමේ උණුසුම් තුරුලට පැමිණෙන බව IRGC ට අනුබද්ධිත ප්‍රවෘත්ති ඒජන්සියක් වන Tasnim කියා තිබෙනවා.

ජනප්‍රිය පුවත්  වෙබ් අඩවිය හැක් කරයි! කොමර්ෂල් බැංකු ගිනුම් අනතුරේ!

ඔවුන් ඔස්ට්‍රේලියාවේදී පිළිගැන්වුණු මානසික යුදවැදීම, ව්‍යාප්ත කරනු ලැබූ ප්‍රචාරය හා පොලඹවනසුලු යෝජනා ප්‍රතික්ෂේප කර ඇතැයි එම ඒජන්සිය සඳහන් කරනවා.

ඉරාන පාපන්දු ක්‍රීඩිකාවන් හා ඔවුන්ගේ ආධාරක කණ්ඩායම මව්බිමේ දරුවන් බවත් ඉරානයේ ජනතාව ඔවුන්ව ආදරයෙන් වැළඳ ගන්නා බවත් ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක මොහමඩ් බඝර් ඝලිබාෆ් X පෝස්ටුවකින් කියා සිටියා.

යළි මව්බිමට පැමිණීමෙන් ඔවුන් ඉරානයේ සතුරන්ගේ බලාපොරොත්තු කඩකර ඇති බවත් ඔවුන් ඉරාන විරෝධී කණ්ඩායම්වල ප්‍රයෝගයන්ට හා තර්ජනවලට යටත් නොවූ බවත් ඔහු පවසනවා.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x