ක්රිස්තියානුවාගේ අභාවය
1 min read
2024 ජන සංගණන වාර්තාවට අනුව ලංකාවේ කතෝලික සහ ක්‍රිස්තියානු ආගමිකයන් අභාවයට යමින් තිබේ. 2012 වසරට සාපේක්ෂව 2024 වන විට අනෙකුත් සියලු ආගමිකයන් සංඛ්‍යාත්මකව වැඩි වන විට රෝමානු කතෝලිකයන් සහ අනෙකුත් ක්‍රිස්තියානුවන් සංඛ්‍යාත්මකව අඩු වී තිබේ. වෙනත් ආකාරයකින් කිව හොත් 2012 සිටියාට වඩා 2024 සිටින ක්‍රිස්තියානුවන් ගණන අඩු වී තිබේ. මා කියන්නේ සමස්ත ජනගහනයෙන් එක් එක් ආගමික ප්‍රජාවේ ප්‍රතිශතය ගැන නොවේ. මා කියන්නේ ආගම් අදහන සැබෑ මිනිසුන් සංඛ්‍යාව ගැන ය. මෙය සුවිශේෂී තත්ත්වයකි.
අනෙකුත් සියලු දෙනා වැඩි වන විට කතෝලික සහ ක්‍රිස්තියානුවන් පමණක් අඩු වන්නේ ඇයි? ආගම් මාරු කිරීම මේ සඳහා ප්‍රබල හේතුවක් විය නොහැකි ය. හැරෙන බොහෝ කතෝලිකයන් හැරෙන්නේ ක්‍රිස්තියානු නිකායන්ට ම ය. නමුත් ක්‍රිස්තියානුවන් ද සංඛ්‍යාත්මකව අඩු වී තිබේ. කතෝලිකයන් සහ ක්‍රිස්තියානුවන් වෙනත් ආගමකට හැරෙනවා නම් එය සැලකිය යුතු සංඛ්‍යාවක් විය නොහැකි ය. අනෙක් අතට ක්‍රිස්තියානුවන් කෙතරම් දඟලෑවත් වෙනත් ආගමිකයන් තමා වෙත හරවා ගැනීමට ද ඔවුන් අසමත් වී තිබේ. එසේ කළත් අනෙක් පැත්තෙන් ක්‍රිස්තියානුවන් ඔවුන්ගෙන් ගිලිහී තිබේ.
මේ වනාහි රෝමානු කතෝලික සභාවේ සහ ඊනියා ප්රොෆට්ලාගේ දරුණු අසාර්ථකත්වයකි. කාදිනල සහ ඔහුගේ පූජකයන් විසින් සැබැවින් ම කර ඇත්තේ ලංකාවේ කතෝලික ප්‍රජාව නැවත ගොඩනැගිය නොහැකි ලෙස අභාවයට ගෙන යෑම ය. ඔවුන්ගේ වර්ධන අනුපාතය අනුව නැවත මේ රටේ කතෝලිකයන් වැඩි වන්නේ නැත. කාදිනලගේ තර්කයෙන් ම කිව හොත් හරි නම් කතෝලික සභාව ම ඉල්ලා අස් විය යුතු ය – අස් වී අලුත් පිරිසකට බලය දිය යුතු ය. අඩුම තරමින් ඔවුන්ගේ ප්‍රජාව එක මිනිසෙකුගෙන් හෝ වැඩි කර ගැනීමට ඔවුන් අසමත් වී තිබේ. රටේ දේශපාලනය කරන හැටි ගැන පණ්ඩිත කථා කියවන්නට එන සිරිල් ගාමිණීලාට තමන්ගේ ප්‍රජාව රැක ගැනීමට නොහැකි වී තිබේ.
අනෙක් අතට ඔය ජෙරම් වැනි අයගේ ගොබ්බ සංදර්ශනත් මෙයට හේතුවකි. 21 වන සියවසේ තරුණයා හෝ තරුණිය ඔය බොරු සෙප්පඩවිජ්ජාවලින් රැවටිය නොහැකි ය. එයින් සැබැවින් ම වන්නේ ක්‍රිස්තියානු ආගමත් එය අදහන්නනුත් සමාජයේ විහිළුවට ලක් වී කිච වීම පමණී. විහිළුවක් වන ආගමකට හැරෙන්නේ මෝඩ විහිළුකාරයන් ම මිස දරුවන් වැදිය හැකි වයසේ සිටින නූතන තරුණ ප්‍රජාව නොවේ. ජෙරම් ඇතුළු ඊනියා ප්රොෆට්ලා අවසානයේ කර තිබෙන්නේ ලංකාවේ වැසියන් ජේසුස් වෙත ගැනීම නොව, ජේසුස්ගෙන් ඉවත් කිරීමයි. කැ. සුදස්සන සමග බෞද්ධ ආගමට කෝචොක් කරන කතෝලික මෝඩයා සැබැවින් ම කර තිබෙන්නේ ඔහුගේ ආගම ජෝක් එකක් කර ගැනීම ය.
කෙසේ වෙතත් බෞද්ධයන් වන අපට මෙයින් පාඩමක් උගත හැකි ය. දැනට බෞද්ධයන් සංඛ්‍යාත්මකව වැඩි වේ. 2012 සිට 2024 දක්වා ලක්ෂ 9 කට වඩා බෞද්ධයන් වැඩි වී තිබේ. නමුත් සමස්ත ප්‍රතිශතයෙන් බෞද්ධයන් දශම තුනකින් පමණ අඩු වී තිබේ. වැඩිම වර්ධනය පෙන්වන්නේ මුසල්මානුවන් ය. එය වෙනම ම සාකච්ඡා කළ යුතු අසාමාන්‍ය තත්ත්වයකි. නමුත් බෞද්ධයන්ට ද කතෝලිකයන්ට වු දෙයම අනාගතයේ සිද්ධ විය හැකි ය.
මහානායක ස්වාමීන් වහන්සේලා ජීවත් වන්නේ සාමාන්‍ය බෞද්ධ සමාජයෙන් බොහෝ දුරිනි. උසිනි. කතෝලික පල්ලියත් එහෙම ය. කාදිනලයා සුර සැප විඳින විට සාමාන්‍ය කතෝලිකයා අපා දුක් විඳියි. ජෙරම්ලා ආගම ජෝක් කරමින් කෝටි ප්‍රකෝටි ගණනින් හම්බ කරන විට දුප්පත් ක්‍රිස්තියානුවා කුස ගින්නේ නින්දට යයි. ජනප්‍රිය පන්සල් සහ භික්ෂූන් දිව්‍ය විමාන වැනි මහමෙව්නා උමන්දා හදා ගෙන ජීවත් වන විට දුප්පත් ග්‍රාමීය බෞද්ධයා නිරි සතුන් මෙන් විඳවයි. මෙය මහා අන්තවාදී සංකර විපරිතයකි. ආගමික ප්‍රජාවක් වර්ධනය කරන්නේත්, එය අභාවයට යවන්නේත් එම සංස්ථාවේ ම අධිපතියන් විසිනි. ධර්මය අපට මග වේවා!
එරන්ද ගිනිගේ
2025 නොවැම්බර් 2
