යෝජිත ශ්‍රී ලාංකික දිනය හා සමූහ මිනීවලවල්
1 min read
දෙසැම්බර් මාසයේදී ‘ශ්‍රී ලාංකික දිනය’ක් පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. 1948 ලැබුනු ඩොමිනියන් හෝ ප්‍රත්‍යාත් යටත්විජිත තත්ත්වයට පසුව ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැංවීමට සියලු පාලකයෝ/ආන්ඩු අපොහොසත් වූහ. (එයට ජාතිය යැයි කීමට යම් පාර්ශවයක් අකමැති නම් ඊට ශ්‍රී ලාංකික නේෂනය යැයි කීවාට වරදක් නැත.)
ඉන්දියානු දේශපාලන නායකත්වය බිතාන්‍ය යටත් විජිත තත්ත්වයෙන් මිදුන පසු ඉන්දියානු නේෂනය ගොඩනැගූහ. INDIAN සංකල්පය සදහා කෙතරම් චිත්‍රපට නිශ්පාදනය වූයේද? ඒ ගොඩනැගීම කෙතරම් ප්‍රභල ද, ඊට භාවිත වූ ප්‍රතිපත්තිමය/ව්‍යස්ථාමය සාහිත්‍ය කලා මෙවලම් හා උපාය මොනවා දැයි ඉන්දියාවේ වසර ගණනක් ගත කළ පුද්ගලයකු ලෙස මම හොඳාකාරවම දනිමි.
ශ්‍රී ලාංකිය ජාතිය ගොඩනැංවීම සිදු නොවන්නේ මූලික කරුණු දෙකක් නිසාවෙනි. පළමු වැන්න, ඒ සඳහා දේශපාලන නායකත්වය නිසි ප්‍රමුඛත්වයක් ලබා නොදීමය. ශ්‍රී ලාංකිය ජාතිය ගොඩනැංවීම වෙනුවට සියල්ලන් 1947 සිටම කළේ, වඩාත් වාර්ගික ප්‍රවේශයන්ගෙන් මැතිවරණ සඳහා සූදානම් වීමය.
(අනේ ඉතිං උඹලාත් පසුගිය කාලයේ කලේ ඒකට උඩගෙඩි දීම නේදැයි, බොහෝ විට අප සමග සිට, දැන් පූර්ණ
රූපාන්තරණයකට ලක්ව සිටින භවතකු ප්‍රශ්න කරන්නට පුලුවන. එහෙත්, අප සිදු කළේ, පසුගිය ඕනෑම ආන්ඩුවක් ස්වකීය දේශපාලන ස්ථාවරත්වය සඳහා වාර්ගික උපක්‍රම භාවිත කිරීමේදී වඩාත් සංවිධිතව කටයුතු කිරීමට දෙමළ හා මුස්ලිම් ජනතාව කටයුතු කරද්දී සිංහලයන්ද එවැනි සංවිධානාත්මක ප්‍රවේශයක් කරා බලමුලු ගැන්වීමය)
දෙවනුව ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැංවීම සඳහා සුලු වශයෙන් හෝ තිබු උනන්දුව හෝ ඉඩකඩ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන භූ දේශපාලනික න්‍යායපත්‍ර වල සුක්ෂම මැදිහත්වීම විසින් ව්‍යාර්ථ කරනු ලැබිණි. ඒ සඳහා මිලිටරිමය හා වෙනත් දේශපාලන උපක්‍රම භාවිත විනි. 1971, 1988-89 හා තවත් බොහෝ එවැනි ශ්‍රී ලාංකීය දේශපාලන නායකත්වයට කළමනාකරණය කරගත නොහැකිවූ අවස්ථා මම ඊට උදාහරණ ලෙස සලකමි.
එසේම 1948 පෙබරවාරි 04 සම්බන්ධයෙන් අද දක්වාම ලැබී ඇති ප්‍රමුඛතාව 1972 මැයි 22 දා ජනරජ ව්‍යවස්ථාවෙන් අප පූර්ණ නිදහස් ජනරජයක් වීම අනුස්මරණය සඳහා ලැබෙන්නේ නැත. ජාතික වීර දිනය ලෙසින් සැලකූ
මැයි 22, පසුකාලීනව සියුම්ව දියකර හැරිණි. එසේ වූයේ 1948 සිට පිරිමින් රාජ්‍ය නායකත්වය දරද්දී ලබාගැනීමට
නොහැකිවූ ව්‍යවස්ථාමය නිදහසක් ගැහැණියක රාජ්‍ය නායිකාවක වශයෙන් සිටියදී දිනාගැනීම නිසා දැයි මම නොදනිමි.
කෙසේ වෙතත්, 2009 සිට මැයි 18 දිනය සුවිශේෂිව සැමරීම සම්බන්ධයෙන් බහුතර දෙමළ ජනතාව තුළ ඇත්තේ නොමනාපයකි. එහෙත් මූලධාර්මීය දෝෂ සහිත වුවද පෙබරවාරි මස 04 වනදා ජාතික නිදහස් දිනය ලෙස සැමරීමට යම් පාර්ශවයක් විරුද්ධ වන්නේ නම්, එසේ විරුද්ධ වන්නේ කවර හේතුන් නිසාද? ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී යුද්ධයේ ව්‍යාජ, සාවද්‍ය සාහිත්‍ය හා සිද්ධාන්ත අතර, පෙබරවාරි 04 වනදා ට එරෙහි වන්නට යම් පෙලඹවීමක් තිබේද?
කෙසේ වෙතත් පසුගිය වකවානුවේ පාලකයන් හා ආන්ඩු ඊනියා සැමරුම් සඳහා දැක්වූයේ නොමද ආශාවකි. එනිසාම, ශ්‍රී ලාංකික දිනය ලෙසින් දිනයක් නම් කර මුදල් වියදම් කර සැමරීම ඉවසීම අපිට අමාරු කාරියක් නොවේ!
එහෙත්, ඒ ශ්‍රී ලාංකික දිනය යනු ඇත්ත වශයෙන්ම අපි අපේක්ෂා කරන, ඓතිහාසික වශයෙන් ශ්‍රී ලාංකී්‍ය ජාතිය ගොඩනැගීමට කෙරෙන මුල පිරීමක් නම් අවුරද්දට එකක් නොව මාසයකට එක බැගින් ශ්‍රී ලාංකික දින සැමරීමේ වරදක් නැත. ඉන් පරිබාහිරව ස්වකීය දේශපාලන ස්ථාවරත්වය (ස්ථාවරත්වය යන වචනයට වඩා සුදුසු වන්නේ
මැතිවරණ ජයග්‍රහණය) සඳහා පෙර පැවති ආන්ඩු සිදු කළ පරිද්දෙන්ම, වෙනත් – බාගදා නවීන – හැඩයකින් සිදුකරන්නේ ස්වකීය ජාත්‍යන්තර ස්වාමීන් සතුටුකරනු වස් සිංහල දෙමල හෝ මුස්ලිම් වාර්ගිකත්වයන් වඩාත් අන්තවාදී අපේක්ෂා සඳහා පොලඹවාලන සුලු සංදර්ශන සංවිධානය නම්, අපට කියන්න වෙන්නේ වෙනස්ව ඇත්තේ පානය (වයින්) නොව වීදුරුව පමණක් කියාය.
මන්ද පසුගිය දශක ගණනාව තුළ ශ්‍රී ලාංකීය ජාතිය තුළ ඇති වාර්ගික අනන්‍යතාවන් අතර ඇති අවිශ්වාශය, උත්තරාරෝපිත බෙදීම්, සියල්ල යම් තරමකට හෝ තුනී කරනු ලැබුයේ කාලය විසින් විනා නායකයන් විසින් නොවේ. එනිසා කාලය විසින් සුව කරන තුවාල සංදර්ශන මගින් පෑරිය යුතු නැත. එවැනි තවත් අර්බුධයක් දරාගන්නට තරම් ‘හයියක්‘ ‘ධෛර්යක්‘ අපට ඉතිරිවී නැත.
මා මේ අදහස් ගොනු කර්න්නේ මෑත කාලයේ නිරීක්ෂණය කල සංසිද්ධියක් විශ්ලේෂණය කිරීමෙන් පසුවය.ඒ, දෙරණ නාලිකාවේ 2025.10.20 දින අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මැතිතුමා සමග පැවති 360 දේශපාලන සංවාදයයි. එහිදී එතුමා සඳහන් කරන කරුණු කිහිපයක් උපුටා දක්වමි.
//“…..අපිට බහුතරයක් ඡන්දෙ දුන්නේ සියයට සියයක් ෂුවර් කරන් නෙවෙයි. මේ වෙලාවේ මුන්ටත් දීල බලමු. වෙන එකෙක් හරියට නෑනේ කියල..අපි බලයට ආවෙ කොහොමද කලිදු….. උතුරෙ ඡන්ද නැගෙනහිර ඡන්ද හා දකුනෙ ඡන්ද ඔක්කොම..එහෙනං ඒ උතුරෙ මිනිස්සු අපිට දක්වපු විශ්වාශය, නැගෙනහිර මිනිස්සු අපිට දක්වපු
විශ්වාශය, අපි තියන්න ඕන..දැන් අපි මේ ඡන්දෙ දින්නට තව අවුරුදු පහකින් ඡන්දෙ දිනන්න පුලුවන්ද ඒ
මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්නෙ නැතුව..බෑ..දැන් ඔබ දන්නවනේ Mass Graves (සමූහ මිනීවලවල්) සම්බන්ධයෙන්…..මොන
කතන්දර ගියත් අපි අධිකරණ අමාත්‍යාංශයෙන් මුදල් වෙන් කරගෙන අපි කරගෙන යනවනෙ…“//
මාධ්‍යවේදියා විසින් චෙම්මිනි සමූහ මිනීවල කැනීම සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමේදී..අමාත්‍යවරයා පවසන්නේ //“……..සත්‍ය සොයාගැනීමේදී ජාත්‍යන්තර තාක්ෂණික සහය ගැනීමට අපි කිසිසේත්ම පැකිලෙන්නේ නෑ…ජාන, කාල නිර්නය සම්බන්ධයෙන්…කැනීම් තාක්ෂණය..මේ හැම එකක් සඳහාම ගතයුතු තාක්ෂණික සහය අපි ගන්නවා…මෙවැනි සමූහ මිනිවලවල් ගණනාවක් තිබෙනවා….“//
මාධ්‍යවේදියා – මෙවැනි සමූහ මිනිවලවල් 05ක් තිබෙනවා…? අමාත්‍යවරයා – //නෑ…. 16ක් තිබෙනවා අධිකරණ නියෝග ගතයුතු මට්ටමේ….//
ස්වකීය මවු දේශපාලන ව්‍යාපාරය වන ජනතා විමුක්ති පෙරමුනේ මිලිටරිමය ඉතිහාසය අමතක කළ යුතුයැයි කියන වත්මන් ආන්ඩුව සමූහ මිනී වලවල් හාරා ජාත්‍යන්තර න්‍යාය පත්‍ර අනුව ගොඩගැනීමට නියමිත ‘යුක්තිය‘ ශ්‍රී ලාංකිය ජාතිය ගොඩනැංවීම පිණිසද? (සමූහ මිනී වලවල් වල වැළලී ඇති කටුක සත්‍යයන් ගොඩ ගැනීම නුරුස්සන දකුනේ
සිංහල ස්වෝත්තමවාදියකු යැයි මට චෝදනා කිරීමට ඔබට ඇති අයිතිය මම ප්‍රශ්න නොකරමි)
එහෙත්, යුද්ධය කළ ‘විනාශයේ‘ ශේෂපත්‍රය පිරික්සන්නේ නම්, උතුර මෙන්ම දකුණද හෑරිය යුතු බව සිය ජාත්‍යන්තර ස්වාමීන්ට කීම රාජ්‍ය නායකත්වයේ පරම කාර්යය බව අවධාරණය කරමි. රටවල් වල ආණ්ඩු තියෙන්නේ ඒ සඳහා ය.
නැත්නම් අපට කියන්නට ඇත්තේ යුද්ධය ‘වවාගෙන’ කන්නේ යැයි පිරිසක් බලයෙන් පහ කල ඇත්තන් කරන්නේ යුද්ධය ‘හාරාගෙන’ කන බවය. මේ කිසිවකුත් සිය පැවැත්ම අතීතය තුල මිස අනාගතය තුල තහවුරු කර ගැනීමට අසමත් බවය.
ආචාර්ය චමිල ලියනගේ
