July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අධිකරණය ජෙපිකරණය…

1 min read

ඇමරිකා එක්සත් ජනපදයේ, එක්දහස් අටසිය ගණන්වල අගවිනිසුරුවරයකුව සිටියේ රොජර් ටේනි ය. ඔහු ලොව අපකීර්තියට පත් වූයේ දෙන ලද නඩු තීන්දුවක් හින්දා ය. 1857 වසරේ දී ඔහු විසින් දෙන ලද “ඩ්‍රෙඩ් ස්කොට්” නඩු තීන්දුව මගින් කියා සිටියේ අප්‍රිකානු සම්භවයක් සහිත කළු ජාතිකයන්ට ඇමරිකාවේ පුරවැසිභාවය හිමි නොවන බවත්, ඔවුන් වහලුන් ලෙස පමණක් සැලකිය යුතු බවත් ය. ඇමරිකානු සිවිල් යුද්ධයට මග පෑදුවේ, රොජර් ටේනි දුන් මේ අශිෂ්ඨ, නින්දා සහගත තීන්දුව ය.

මෑතකදී වත්මන් අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේන ප්‍රකාශ කර සිටියේ, ස්වාභාවික ව්‍යසනයකට වඩා අධිකරණ පද්ධතියේ හා නීතියේ ස්වාධීනත්වයේ බිඳවැටීම රටක විනාශයට හා රාජ්‍යයක බිඳවැටීමට සෘජුවම බලපාන බවයි. සූරසේනගේ “කට බොරු කියුවත් දිව බොරු නොකියන” බව අප විශ්වාස කරන්නේ ඔහුගේ මේ ප්‍රකාශය හින්දාය. සූරසේනගේ “හිතේ තොප්පිය, කටේ සිප්පිය” බව තේරුම්ගැනීම හැමෝටම අපහසුය.

“හිතේ තොප්පිය, කටේ සිප්පිය” කියා කියන්නේ අපේ රටේ ජීවත් වූ පැරැන්නන් ය. කටින් ඉතා නිහැඬව, අහිංසකව, සීලාචාරව සිටියද හිත ඇතුලෙන් මහා කපටි, විනාශකාරී සැලසුම් හදන අයව ඔවුන් හැඳින්වූයේ මේ ආකාරයට ය. “දිවියා සිවුරු පෙරෙව්වා වගේ” යැයි කීවේ ද ඒ අන්දමේ අය ගැනය. මේ දිවියානම් පොරවගෙන සිටින්නේ සිවුර නොව “බෝර්න් අගේන්” දේවගැති ලෝගුව ය.

සූරසේන වඩාත් සමානවන්නේ, දකුණු සූඩානයේ වත්මන් අගවිනිසුරු චෑන් රීක් මාදුත්ගේ ක්‍රියා කලාපයට ය. දකුණු සූඩානයේ ජනාධිපති සල්වා තීර් ලංකාවේ ජනාධිපති අනුර කුමාර වගේය. මේ දෙන්නාටම ඔටුන්න හිස මතට කඩා වැටුනේ විශාල විපතක කෙළවරදී ය. ලංකාවේ දී නම්, රාජ්‍ය බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමෙන් පසුව ය. සූඩානයේ දී නම්, රාජ්‍ය දකුණු සූඩානය හා උතුරු සූඩානය ලෙස දෙකඩ වීමෙන් පසුව ය. දෙදෙනාම අර්බුදයේ හා විපතක ප්‍රතිඵලය.

ජනාධිපති සල්වා තීර් 2011 වසරේ දී තම අගවිනිසුරු බවට පත්කර ගත්තේ චෑන් රීක් මාදුත් ය. දකුණු සූඩාන ව්‍යවස්ථාව අනුව විනිසුරුවන් පත්කිරීම සහ උසස් කිරීම සඳහා ස්වාධීන “අධිකරණ සේවා කොමිෂන් සභාවක්” තිබිය යුතුය. නමුත් අගවිනිසුරු මාදුත් විසින් එම කොමිෂම අභිබවා යමින් තමාට සහ රජයට හිතවත් විනිසුරුවන් පමණක් ඉහල අධිකරණවලට පත් කළේය. දැන් ලංකාවේ අධිකරණ පද්ධතිය ගොදුරු වී ඇත්තේ එම චෑන් රීක් මාදුත්ගේ ආසන්න අවධියට ය.

ජනප්‍රිය පුවත්  "ධම්මික" පැණිය !

අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් නවක මහේස්ත්‍රාත්වරු බඳවාගැනීම වෙනුවෙන් මහේස්ත්‍රාත් විභාගය පැවැත්වූයේ පසුගිය පෙබරවාරි මාසයේ ය. සම්මුඛ පරීක්ෂණයෙන් තෝරාගත්තේ අඩු ලකුණු ලාභීන් ද සහිතව 33 දෙනෙක්ය. ඒ, ජ.වි.පෙ න් ආ ලයිස්තුව ද සමඟ තම උවමනාව ද අගවිනිසුරුවරයා සන්තර්පණය කර ගනිමින්ය. එම විභාගයට මුහුණදීමට වූ සුදුසුකම් ද, ඇතුළට ගන්න ඉන්න පිරිසට ගැලපෙන පරිදි වෙනස් කරේ ද මේ සූරසේන ය. මහෙස්ත්‍රාත් විභාගයට එන්නට ඊට පෙර වූ නීතිඥයකු ලෙස ප්‍රායෝගික භාවිතාව වසර 4 විය. මෙවර එය වසර 3 කළේය. ඊට අමතරව, ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිසුරුවරයකු යටතේ “රිසර්ඩ්” (Reassured) නිලධාරියකු ලෙස කටයුතු කර තිබීම ද එම විභාගයට වාඩිවීමට සුදුසුකමක් කළේය.

දැන් මේ 33 දෙනා අතර සිටින වැඩි හරියක් ජෙප්පන් ය. නැතිනම් ජෙපි හිතවතුන් ය. දකුණු සූඩානයේ චෑන් රීක් මාදුත් ගත් මග යමින් සූරසේන “ගේම” ගහන්නේ එහෙම ය.

ශ්‍රී ලංකාවේ මූලික නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ය. උත්තරීතරයැයි සැලකෙන්නේ එය ය. එයට අනුව, මූලික මිනිස් අයිතිවාසිකමක් පිළිබඳ නඩුවක් මාස 2 ක් ඇතුළත විභාග කර අවසන් කළ යුතුය. එහෙත් සූරසේන දේවගැති අගවිනිසුරු යටතේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තොගයක්ම විභාගයට ගැනීමට හෝ සලකාබැලීමට ලක් නොකළ තවමත් පවතින්නේ විභාගයට ගන්නේවත් නැතිව ය. දැන් වෙලා ඇත්තේ “රැකවලාම හොරා” වීම ය.

විභාගයට ගත් බොහෝ මූලික මිනිස් අයිතිවාසිකම් නඩු වලට අත්වුයේ තාක්ෂණික හේතුවක් හුවා දක්වා විසිකර දැමීම ය. ඒ අතරතුර සූරසේන යටතේ වන ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ දැනට පවතින පුරප්පාඩු ගණන 8 ක් ය. ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු ගණන 4 ක් ය. අභියාචනාධිකරණයේ ගණන ද 4 ක් ය.

ජනප්‍රිය පුවත්  නල්ලමලේ පුනරුදේ

මෙරට 76 වසරක සාපය තුළ ද ඉහල උසාවිවල මෙපමණ පුරප්පාඩු සංඛ්‍යාවක් මෙපමණ කලක් නොපිරවා පැවතීමට ඉඩහැර ඇති වෙනත් අවස්ථාවක් සොයාගන්නට ද නොහැකි ය. මේ දේ සිදුවන්නේ දේවගැති සූරසේන හෙවත් ලාංකීය චෑන් රීක් මාදුත්ගේ අගවිනිසුරුකමේ ආනුභාවයට යටත්ව ජනාධිපති අනුර කුමාර හෙවත් ලාංකීය සල්වා තීර්ගේ කැමැත්තට යටත්ව ය.

මේ පුරප්පාඩු පිරවීම වලකාඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පහල උසාවිවල විනිසුරුවන්ව නැටවීම පිණිස ය. එනම්, අනුර කුමාරට උවමනා තීරණය ලබාගැනීම සඳහා ය. උසස්වීම උවමනානම්, දිය යුත්තේ අපට අවශ්‍ය තීන්දුව බව පහල විනිසුරන්ට කියන්නේ සූරසේන හරහා අනුර කුමාර ය. මුළුමහත් අධිකරණය ජෙපිකරණයට භාජනය වීම සිදුවන්නේ මේ අන්දමට ය.

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ද ඒ තැණට ගෙනාවේ උසාවිය ජෙපිකරණය කරනු පිණිස ය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනව, විශ්‍රාම යන්නට නොදී තව වැඩිපුර වසර 2 ක් හෝ වැඩි කාලයක් තියාගන්නට හදන්නේ ද උසාවිය ජෙපිකරණය කිරීම පිණිස ය. රාජ්‍යය ජෙපිකරණය කිරීම ගැන මෑතක දී විවෘතවම කියා සිටියේ, සමාජවාදී තරුණ සංගමයේ හිටපු ප්‍රධානියා වූ වර්තමාන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ය. ඔහු ඒ ගැන කීවේ මෙසේ ය.

“මේ ඇවිල්ලා තියෙන්නෙ ආයෙ කාටවත් දෙන්න නෙමෙයි. අපි ආණ්ඩුවක් අරගෙන තියෙනවා. තාම රාජ්‍ය බලය අපට අරගෙන නැහැ. ග්‍රාමසේවක, ප්‍රාදේශීය ලේකම්, දිසාපති අපි කියන විදියට වැඩ කරනව ද ? නෑ… එහෙමනම් මොකක්ද වෙන්න ඕනේ ? මෙතන ඉන්න කොල්ලෝ කෙල්ලෝ රාජ්‍යකරණයට එන්න ඕනේ. රනිල්ලා, සජිත්ලා, නාමල්ලා පරාද වෙලා ඉවරයි. විනාශ වෙලා නෑ. අන්න ඒ විනාශ නොවුන පිරිස දැන් තැන් තැන් වල නටන්න පටන් අරගෙන තියෙනවා. අපි මොකක්ද කරන්න ඕනේ ? දේශපාලනිකව විනාශ කරලා දාන්න ඕනේ. නටන්න පුළුවන් වුනත් දළදා පෙරහරේ හැමෝටම නටන්න දෙන්නෙත් නැහැ”

ජනප්‍රිය පුවත්  සෙත්ත පෝච්චිය

රාජ්‍යයම ජෙපිකරණයට ලක්කිරීමේ උමතු අභිලාෂයෙන් සිටින්නේ මේ ජෙපි ආණ්ඩුව ය. සූරසේන දේවගැතිවරයා කරන්නේ අගවිනිසුරු පුටුවේ තව කාලයක් ඉන්නට ලබා දෙන සංතෝශමට දෙන පගාව ලෙස මුලු මහත් අධිකරණ පද්ධතියම ජෙපිකරණයට ලක් කිරීමට ය. මෙය වූ කලී මෙරට අධිකරණ ඉතිහාසයේ සිදුවන්නට නියමිත මහා විනාශය ය.

එහෙත්, සෑම අඳුරු කළු වලාවකම රිදී රේඛාවක් තිබේ. පසුගිය දා අනන්ත බාධා මැද රැස් වූ අධිකරණ සේවා සංගමයේ මහා සභාවේ සිටි විනිසුරුවන් පෙන්වූයේ එම රිදී රේඛාව ය. ලාංකීය ජනාධිපති සල්වා තීර් හෙවත් අනුර කුමාර මෙන්ම ලාංකීය අගවිනිසුරු චෑන් රීක් මාදුත් වටහාගත යුතු වැදගත්ම දෙයක් ඇත. ඒ, අන් කිසිවක් නොව, කිසිදා වැඩවර්ජන නොකළ විනිසුරුවෝ 2017 දී දකුණු සූඩානයේ දී දැවැන්ත වැඩ වර්ජනයක් ද කරන ලද බවය. ඒ වැඩ වර්ජනයේ නියතු විනිසුරුවන්ගේ ප්‍රධානම ඉල්ලීම වූයේ අගවිනිසුරු චෑන් රීක් මාදුත් වහාම එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවය.

දැන් ශ්‍රී ලංකාව අධිකරණමය වශයෙන් යමින් සිටින්නේ දකුණු සූඩානයේ එම ඉරණම කරා ය. ආර්ථිකමය වශයෙන් යමින් සිටින්නේ ආර්ජින්ටිනාව, ඉක්වදෝරය ගමන් කළ මාවතේ ය. සමාජීය වශයෙන් ගමන් කරමින් ඇත්තේ හයිටිය කරා ය. මෙයට එරෙහිව ක්‍රියාකිරීම සියළු හදවත් සහිත මිනිසුන්ගේ වගකීම ය. යුතුකම ය.

ගේ පත්තුවෙනකොට ළිං කපන්න ගියාට වැඩක් නැත. වැස්සට පස්සේ කුඩේ ඉහිලුවට කිසි තේරුමක් නැත. ඒ නිසා සැවොම කළ යුතු දේ කළ යුත්තේ නොපමාව ය. රාජ්‍යය ජෙපිකරණයට ලක් වීම යනු, තුන්ඩු කෑල්ලට අනුව එන නියෝග පරිදි ජීවත්වීම ය. විනිසුරුවන් ද ඊට යටත් ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x