July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විදෙස් ආයෝජන බිලියන 30 ක් පිටතට යයි! මහබැංකුවත් අන්දොස්!

1 min read

උද්ධමනය පාලනය කිරීමට හා රුපියල ස්ථාවර කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව විසින් ප්‍රධාන පොලී අනුපාත පදනම් ලක්ෂ්‍ය 100 කින් ඉහල දැමුවද, ‍ප්‍රාග්ධනය පිටතට ගලා යාම වලකාගැනීමට එමඟින් හැකි වී නොමැත. ඒ බව පෙනීයන්නේ විදේශීය ආයෝජකයින් ශ්‍රී ලංකාවේ කොටස් සහ රජයේ ණය සුරකුම්පත් වෙළඳපොලෙන් තම ආයෝජන ඉල්ලා අස්කර ගනිමින්, මුදල් රැගෙන යාම නිසා මේ වසර තුළ මේ වන විට සමස්ත ශුද්ධ විදේශීය ප්‍රාග්ධන පිටතට ගලා යාම රු. බිලියන 30 ඉක්මවා ගොස් තිබීමෙනි.

මේ වසරේ (YTD) මේ දක්වා කාලය තුළ කොළඹ කොටස් හුවමාරුවෙන් සිදුව ඇති ශුද්ධ විදේශීය පිටතට ගලායාම දළ වශයෙන් රු.බි. 25 ඉක්මවා ගොස් තිබේ. දිගින් දිගටම සිදුවන විකුණුම් හේතුවෙන් වෙළඳපොළ තත්ත්වය මන්දගාමී වී තිබේ.

විදේශීය ආයෝජකයින් මේ වසරේ දී රජයේ සුරැකුම්පත් හා රුපියල් බැඳුම්කරවලින් ඇමරිකානු ඩොලර් මිලියන 13.9 කට වඩා වැඩි (එනම් රුපියල් බිලියන 5 කට වඩා වැඩි) ශුද්ධ ප්‍රමාණයක් විකුණා දමා ඇත.

ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව වසර 4 කට ආසන්න කාලයකින් පසු අවම අගයකට පත්වීමේ හේතුව මත, ඩොලර් වටිනාකම ආරක්ෂා කරගැනීම සඳහා විදේශීය ආයෝජකයින් ස්වයංක්‍රීයවම තම කොටස් විකුණාදැමීමට පෙළඹී තිබේ. එමෙන්ම, ලෝක දේශපාලනමය නොසන්සුන්තාවයන් සහ ඇමරිකානු මහබැංකුවේ (Federal Reserve) ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන්, ජාත්‍යන්තර අරමුදල් කළමණාකරුවන් දුර්වල වෙළෙඳපොල වලින් ඉවත් වී රන් වැනි සුරක්ෂිත ආයෝජන වෙත යොමුවෙමින් පැවතීම ද මේ සඳහා බලපා තිබේ.

ජනප්‍රිය පුවත්  ප්‍රකාශ ගැන පරීක්‍ෂණයක් කරන්න ! C.J. කියයි.

මේ අන්දමින් විදේශීය ආයෝජකයින් දිගින් දිගටම ප්‍රාග්ධනය ඉල්ලා අස්කරගැනීම (Capital Outflow) මෙරට සාර්ව ආර්ථිකය කෙරෙහි ඍණාත්මක බලපෑමක් වර්ධනය කරවන බව මූල්‍ය හා ආර්ථික ප්‍රවීනයන්ගේ මතය වී තිබේ.

විදේශීය ආයෝජකයින් තම කොටස් සහ බැඳුම්කර විකුණා ලැබෙන රුපියල්, ඇමෙරිකානු ඩොලර් බවට පත් කරගනිමින් මෙරටින් රැගෙන යාම මෙලෙස වර්ධනය වීමෙන් වෙළඳපොල තුළ ඩොලර් සඳහා ඇති ඉල්ලුම සීග්‍රයෙන් ඉහලයාමට හේතු වේ. එය ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වීමට සෘජුවම බලපා තිබේ.

ආයෝජකයින් පිටත්ව යාමේදී ඩොලර් ගලායාම පාලනය කිරීමට සහ රුපියල ස්ථාවරව තබාගැනීමට ශ්‍රී ලංකා මහබැංකුව සතු විදේශ විනිමය සංචිත වෙළඳපොලට මුදා හැරීමට සිදුවේ. එමඟින් රටේ නිල විදේශ සංචිත මට්ටම (Gross Official Reserves) පහළ වැටීමේ අවදානමක් නිර්මාණය වේ.

අනෙක් අතට රජයේ බැඳුම්කරවලින් විදේශිකයන් ඉවත්වන විට රජයට දේශීය වෙළඳපොලෙන් ණය ගැනීමට සිදු වේ. එහිදී ඉල්ලුම පියවා ගැනීමට සහ ප්‍රාග්ධනය රට තුළ රඳවාගැනීම පිණිස මහබැංකුවට ප්‍රතිපත්තිමය පොලි අනූපාත (Policy Rates) ඉහල දැමීමට බල කෙරේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස වාණිජ බැංකුවල ණය පොලී අනුපාතය ද ඉහළ යයි.

ජනප්‍රිය පුවත්  බදුල්ල විනිසුරුට ජනපතිගෙන් වැඩක් ?

ඒ හේතුව මත දේශීය ව්‍යාපාරිකයින්ට ණය ලබාගැනීම අපහසුවන අතර අලුත් ව්‍යාපාර ආරම්භ කිරීම මන්දගාමී තත්ත්වයට ඇද වැටේ. එමගින් ආර්ථිකයේ වර්ධනය පහළට ඇදදමනු ඇති අතර, ආර්ථිකය තවදුරටත් හැකිලීම සිදුවනු ඇත.

අනෙක් අතට විදේශීය පෝට්ෆෝලියෝ ආයෝජන (FPI) අවම වීම, රටේ සමස්ත දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධනය වේගය බාල වීමට දිගුකාලීනව බලපානු ඇත. රුපියල බාල්දුවීම නිසා විදේශයෙන් ආනයනය කරන ඉන්ධන, ඖෂධ සහ අමුද්‍රව්‍ය සඳහා වැයවන පිරිවැය ඉහල යන අතර, එම “ආනයනික උද්ධමනය” (Imported Inflation) හේතුවෙන් දේශීය වෙළඳපොලේ භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහල යාම සිදු වේ.

2020 – 2022 අතර (කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය පැන නැගීම අතර කාලය) තුළ ද මෙලෙස කොටස් වෙළඳපොලේ සහ භාණ්ඩාගාර බිල්පත්වල සිටි විදේශීය ආයෝජකයින් එක පෙළට සිය ආයෝජන විකුණා දැමීම සිදුකර තිබේ. 2020 වසරේ දී රුපියල් බිලියන 51 ක පමණ දැඩි ශුද්ධ පිටතට ගලායාමක් වාර්තා වී තිබෙන අතර 2021 දී එය රුපියල් බිලියන 53 ක් පමණ වන බව (ඉහළම ශුද්ධ පිටතට ගලායාම) වාර්තා වී තිබේ.

ජනප්‍රිය පුවත්  රුසියන් තෙල් ආණ්ඩුව අත හරි!

නමුත් දත්ත පරීක්ෂාවේ දී පෙනීයන්නේ 2020 ජුනි මස නිමා වනවිට ශුද්ධ විදේශීය පිටතට ගලායාම (Net Foreign Outflow) රුපියල් බිලියන 22 ක් පමණ වූ බවය. 2021 වසරේ ශුද්ධ විදේශීය පිටතට ගලායාම, එම වසරේ ජුනි වන විට සිදුව ඇත්තේ රුපියල් බිලියන 26 -27 දක්වා ප්‍රමාණයකිනි. 2026 වසරේ ජූනි අවසන් වනවිට ශුද්ධ විදේශීය පිටතට ගලායාම, 2021 සහ 2022 ජූනි නිමා වනවිට තිබූ අගයට වඩා වැඩි අගයක් හිමිකරගැනීම වර්ධනය වෙමින් පවතින අර්බුදය කවරාකාර වනු ඇත්දැයි වටහා දේ.

මූල්‍ය සහ ආර්ථික ප්‍රවීණයින් පවසන්නේ, ඉදිරි මාස 6 තුළද මෙම ප්‍රවණතාව මේ ආකාරයටම වර්ධනය වුවහොත් බරපතල විදේශ විනිමය අර්බුදයකට රට නැවත ගොදුරුවීම වැලකිය නොහැකි වනු ඇති බවය.

ආර්ථික විමර්ශන අංශය, Lanka Underground

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x