July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පිට පොට ගිය කට

1 min read

රට වටකර වැට බැන්දත් කට වටකර වැට බඳින්න බෑ යැයි කීවේ පැරැන්නන් ය. කට පාලනය නොකර ගැනීම නිසා සිදුවන අකරතැබිබවල බලවත්කම හිතනවාට වඩා වැඩිය.

සෝවියට් සංගමය හා බටහිර අතර සීතල යුද්ධය පැවති සමයේ නිකිටා කෘෂෙව් කී කතාවක් බටහිර තේරුම්ගත්තේ වෙනස් විදියට ය. සෝවියට් දේශයේ එකල නායක නිකිටා කෘෂෙව් තම රට තුළ සිටින බටහිර තානාපතිවරු කැටුවා රුසියානු බසින් කළ කතාවක “අග” ඉංග්‍රීසියට පරිවර්තනය වුණේ “අපි ඔබව පණපිටින් වළලන්නෙමු !” (We will bury you) කියාය.

ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් මෙමගින් කලබලයට පත්වූයේ කෘෂෙව් හදන්නේ, තමන්ට න්‍යෂ්ඨික ප්‍රහාරයක් එල්ල කිරීමට යනුවෙන් සිතා ය. මේ නිසා දැඩි තැතිගැන්මකට ලක්වූ බටහිර රටවල් යුදකාමී පියවර කරා වැඩි වැඩියෙන් බර වූහ.

කලක් යන විට දැනගත්තේ කෘෂෙව් කියා ඇත්තේ “කොමියුනිස්ට්වාදය ධනවාදයට වඩා කල් පවතිනු ඇත” කියා බවය. කට වැරදීම නිසා තව පොඩ්ඩෙන් ඇතිවන්නට ගියේ න්‍යෂ්ඨික යුද්ධයක් ය.

අවුරුදු බර ගානකට පසු ජ.වි.පෙ. බලයට ඒම සඳහා වැඩියෙන් උපයෝගී කරගත්තේ ද “කට” ය. කට ඇතුලේ තිබෙන ඇට නැති දිව ඕන පැත්තකට නැවෙන නිසා හිතට නැගෙන අල්ලෙ පැලවෙන ඕන බොරුවක් කටින් පිට කිරීම ජ.වි.පෙ. පුරුද්ද ය. “කටේ මී පැණි, හදවතේ මලකඩ” යන කියමන ජ.වි.පෙ. ට හරියටම ගැලපෙන්නේ ඒ හින්දාය.

ජනප්‍රිය පුවත්  හාල් !

කටින් බතල හිටවා බලය ලබාගත් ජ.වි.පෙ. දැන් හදන්නේ කටින් ගහලා හෝ බලය තියාගන්නට ය. එහෙත් දැන් දැන් වෙමින් තියෙන්නේ, “කට නිසා ඉදලත් නෑ, බල්ලත් නෑ” වගේ ඉරණමකට ජ.වි.පෙ. ඇදවැටීම ය.

“වචනය කියන්නට පෙර ඔබ වචනයේ ස්වාමියා ය, කීවාට පසු වචනය ඔබේ ස්වාමියා ය” යනුවෙන් කියා ඇත්තේ ආවාට ගියාට නොවේය. පසුගියදාක කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත ගොවියන් ගැන කී කතාව ඇහුවම අපට හිතුනේ “නිකන් ඉන්න නංගිට පොල් කටුවක්” දුන්නා වගේ කියාය.

ලාල් කාන්ත කීවේ ජනකාන්ත කතාවක් නොවේය. උන්නැහේ කීවේ මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුවේයැයි කියා ඇත්තේ බොරුවට බවය. ඒ නිසා ගොවියන්ට රජ වෙන්න බැරි බවය.

මේ ආණ්ඩුවේ ප්‍රධානියා වූ ජනාධිපති අනුරගේ සිට වැඩිහරියක් ඉන්නේ ගොවි පුත්තු ය. ඒ පුත්තුන්ගෙන්ම ගොවියාට මෙහෙම අහගන්නට සිදුවීම එක අතකින් හරිම ආතල් ය.

ලාලාගේ කටේ “නරිවාදම” ආණ්ඩුවේ රෙද්ද පල්ලෙන් බේරෙන එක වලක්වාගන්න ඊළඟට පිටියට ආවේ කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස ය. උන්දෑ අමු ගවයා කියා ඔප්පු කලේ “රොබට් නොක්ස්වත්” ඈදාගෙනය. රොබට් නොක්ස්, මඩ සෝදාගත් කල රජකමටත් සුදුසුයැයි කීවේ ඔහු එළිමහන් සිරකරුවකුව රැඳී සිටි යටි නුවර සහ උඩු නුවර වාසය කළ ඉහළ කුලේ ගොවියන් ගැන සලකා මිස මුලු රටේම ගොවියන් ගැන සලකා නොවන බව ලාලා බේරගන්නට ආ දොස්තරගේ පිළිතුර විය. ඒකා පුතා මේ කතාව කීවේ රොබට් නොක්ස්ගෙන් අහලාදැයි අප දන්නේ නැත. මේ ගොං අර්ථකථනය දොස්තර ඇහින්ද දුන්නේ පට්ට ප්‍රාඥා මූණක් ද ආරූඪ කරගෙනය.

ජනප්‍රිය පුවත්  උස මිට්ටෝ

ඉස්ලාම් දහමේ කියන්නේ “සුභ දෙයක් පවසන්න, නැතිනම් නිහඬව ඉන්න” යැයි කියාය. චීන දාර්ශනිකයකු වූ ලාඕට්සු කීවේ “දන්නා අය කතා නොකරති, කතාකරන අය නොදනිති” කියාය. ඒ උත්තමයෝ ඒ කාලයේත් මෙසේ කියන්නට ඇත්තේ, දොස්තර ඇහින්දලා ජාතියේ උදවිය එදත් සිටින්නට ඇති නිසාය.

ශ්‍රීක දාර්ශනිකයකු වූ සොක්‍රටීස් යමෙකු කතා කිරීමට පෙර පෙරහන් තුනකින් පෙරා බැලිය යුතුයැයි කීවේ නිකමට නොවේය. ඔහු කී පෙරහන් තුන මෙසේය.

1. සත්‍යතාව : ඔබ කියන්නට යන දේ සහතිකවම සත්‍යයක් ද?
2. යහපත්කම : එය අනෙකාට යහපතක් කරන දෙයක් ද?
3. අවශ්‍යතාවය : එය පැවසීම මේ මොහොතේ අත්‍යවශ්‍යම දෙයක් ද?

මේ පෙරහන් තුනට දා බැලූ විට ලාලාගේ කතාවත්, ලාලා බේරාගැනීමට දොස්තර ඇහින්ද කළ කතාවත් කළ යුතු හෝ නොකළ යුතු කතාවන්දැයි ඔබට වටහා ගත හැකිය.

බුදු දහමේ කියා ඇත්තේ “සම්මා වාචා” (නිවැරදි වචන භාවිතය) ගැන ය. යම් වචනයක් සත්‍ය වුවත්, එයින් අනුන්ට හානියක් වේ නම් එය ප්‍රකාශ කිරීමට සුදුසු වෙලාව නොවේනම් නිහඬව සිටීම උතුම් බව බුදු දහම පෙන්වා දෙන්නේ ය. ඒ මොනව කීවත් අනුර කුමාරයාටත්, ඒ කුමාරයාගේ ගෝල බාලයින්ටත් ඇති වැඩක් නැත. පෝට් සිටිය හදන්නට උවමනා කළුගල් මෙට්‍රික්ටොන් ගාණ දිවේ නොගෑවී හරියටම කීවේ අනුර කුමරුන් ය. අගමැතිකමත්, කැබිනට්ටුවත් දෙනවානම් මාස 6 න් රට හදා පෙන්නනවායැයි කීවෙත් ඒ කුමරුන්ම ය. එහෙවු නායකයකුගේ ගෝල බාලයන්ට ද කට පාවිච්චිය ගැන ඇති වගකීමක් තියෙන්නට විදියක් ඇත්තේම නැත ය.

ජනප්‍රිය පුවත්  කිකිලිගේ බිත්තරය

“කතාව දෝලාවෙන් ගමන පයින්” යයි මිනිසුන් කියන්නේ මෙහෙවු අයියලාට ය. කටින් බතල හිටවන්නට හැකියාවක් ඇති මෙහෙම “සෙට්” එකක් මේ රටේ මිනිස්සුන්ට මීට පෙර මුණගැහිලා ද නැත්තේ ය.

මේ ආණ්ඩුවට එරෙහි ප්‍රධානතම සතුරා බවට පත්ව ඇත්තේ ඔවුන්ගේම වචන ය. බලය ගන්නට පෙර හා බලය ගත් පසු පිටකරන වචන ය.

පැරැන්නෝ ඇසුවේ “හිත ඇත්නම් පත කුඩා ද?” යනුවෙන් ය. මුන්දැලා හිතා ඉන්නේ “කට ඇත්නම් පත කුඩා ද?” කියා ය.

කට තිබුණාට මොළය නැත්නම් කටින් පිටවෙන්නේ ස්වයං නාශක බෝම්බය ! මේවා බලාගෙන අපට තියෙන්නේ “චියර්” කරන්න ය ! මේ කරන්නෙත් එහෙම එකක් ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x