ඉන්දියාව, චීනය අවධානයෙන් ! සර්ජිඕ ගෝර් දින දෙක තුණකින් ලංකාවට !
1 min read
ඉන්දියාවේ ඇමරිකා එක්සත් ජනපද තනාපති හා, එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මධ්‍යම හා දකුණු ආසියානු විශේෂ නියෝජිත සර්ජිඕ ගෝර් ඉදිරි දින කිහිපය තුළ මෙරටට පැමිණීමට නියමිතව ඇත.
තානාපති කාර්යාල ආරංචි මාර්ග අනුව, ඔහු පැමිණෙන්නේ විශේෂ ආරක්ෂක ගිවිසුම් ගැන සාකච්ඡා කිරීමට මෙන්ම, ඇමරිකානු ආරක්ෂක උවමනාවන්ට අනුව ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන ව්‍යාපෘති සඳහා වූ මුදල් ලබාදීමට ය. එය කොපමණ මුදලක් දැයි අණාවරණය වී නැත.
ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දු – ෆැසිපික් උපායමාර්ගයට අනුව, හදිසි යුද අවශ්‍යතාවකදී යොදා ගත හැකි වන පරිදි මෙරට වරායවල් හා ගුවන්තොටුපොළවල් වැඩිදියුණු කිරීමටත් මෙරට ගුවන් හමුදාව හා නාවික හමුදාව එම අවශ්‍යතාවන්ට අනුකූලව හසුරුවා ගැනීමටත් එක්සත් ජනපදයේ අරමුණ වී තිබේ. සර්ජිඕ ගෝර් විසින් ලබා දෙනු ඇතැයි වාර්තාවන මුදල් පිරිනමනු ඇත්තේ එම අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම පිණිස ය.
සර්ජිඕ ගෝර් උපතින් රුසියානු ජාතිකයෙකි. ඔහුගේ නියම නම වන්නේ සර්ජේයි ගොරොක්හොවිස්කි වේ. ඔහු මීට පෙර, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිගේ වයිට් හවුස් හි පිහිටි පෞද්ගලික කාර්යාලයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත.
මීට පෙර මේ වසරේම පසුගිය මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපතිවරයා මුණගැසුණු අතර, කොළඹ වරායේ සංචාරය කොට ඒ ගැන විශේෂ X සටහනක් ද තබනු ලැබුවේ ය. ඔහු තබන ලද X සටහන මගින් පෙන්වා දෙනු ලැබුවේ සාගර කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම ශ්‍රී ලංකාවට මෙන්ම සමස්ත කලාපයටම තීරණාත්මක බවයි.
ඊට අමතරව ඔහු එහි සඳහන් කර තිබුණේ, “ඇමරිකා – ශ්‍රී ලංකා හවුල්කාරිත්ව හරහා විනිවිදභාවයකින් යුත් ආරක්ෂිත වෙළඳාමක් ප්‍රවර්ධනය කිරීමට පියවර ගනිමින්” සිටින බව හා “කොළඹ වරාය පරිශ්‍රයේ මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂමව කිරීමට සහ තාක්ෂණිකව දියුණු කිරීමට ඇමෙරිකානු සහය අඛණ්ඩව ලබාදෙන” බවයි.
මාර්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි සර්ජිඕ ගෝර් ඉතා කෙටි කලක් තුළ නැවත ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව ඉන්දියාවේ මෙන්ම චීනයේ ද විශේෂ අවධානයට ලක්ව තිබේ.
පසුගිය දා මෙරට සිටින චීන තානාපතිවරයා, ප්‍රසිද්දියේ ප්‍රකාශ කළේ සාගර ගවේෂණය පිළිබඳව ශ්‍රී ලංකාව හා චීනය අත්සන් තබා ඇති ද්වි පාර්ශවික ගිවිසුම් අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව ක්‍රියා කළ යුතු බවයි. තම ස්වෛරීභාවය ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බව ද ඔහු පවසා තිබිණි.
ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදයේ උවමනාවන්ට පමණක් සැබෑ ලෙසම නැඹුරු වී කටයුතු කිරීම ඉන්දියාවේ සහ චීනයේ උදහසට ලක්ව ඇත. ඉන්දියාව සමග ඇතිකරගෙන තිබෙන එකඟතා ප්‍රායෝගිකව ක්‍රියාවට නොනැගෙන විට ශ්‍රී ලංකාව ඉන්දියාවට පවසා ඇත්තේ චීනයේ ඇති විරුද්දබව මත එය එසේ මන්දගාමී වී ඇති බවයි. අනෙක් අතට චීනය සමග ඇතිකරගෙන ඇති එකඟතා නියමිත පරිදි ක්‍රියාවට නොනැගෙන විට ශ්‍රී ලංකාව චීනයට පවසා තිබෙන්නේ, ඒ පිළිබඳවන ඉන්දියාවේ විරෝධය මත මන්දගාමී බව ඇතිව තිබෙන බවයි. නමුත්, මේ වන විට එම රටවල් දෙකටම ශ්‍රී ලංකා බලධාරින්ගේ මෙම උපක්‍රමය වැටහි තිබෙන අතර, එම දෙරටේම අදහස වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපද බලධාරින්ගේ උපදෙස් පිළිපැදීම ශ්‍රී ලංකාව මෙම තත්වයට පත් වීමට හේතු වී ඇති බවයි.
ශ්‍රී ලංකාව වේගයෙන් භූ දේශපාලන බලවතුන්ගේ පොර බිමක් බවට පත්වන ලකුණු පහල වී ඇතැයි මේ තත්ත්වය පිළිබඳ අදහස් දක්වන භූ දේශපාලන විශාරදයින්ගේ මතය වී තිබේ.
- චරිත දමයන්ත –

