රුපියල මහ බැංකුවේ පාලනයෙන් ගිලිහිලා – ආර්ථික විශ්ලේශක ගයන්ත දෙහිවත්ත
1 min read
රට නැවතත් ආර්ථික අර්බුදයක් අබියස සිටින බවට අනතුරු ඇඟවෙමින් තිබේ. ඊයේ අප අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ සඳහන් වූයේද ‘අනාගතය ඉතා අවිනිශ්චිත බව මහබැංකු අධිපතිවරයා කළ ප්‍රකාශයකි. අද වනවිට ඩොලරයේ විකුණුම් මිල ලෙස සඳහන් වූයේ රුපියල් 334.00කි. රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් පවතින්නේ ඇයි? මේ ඒ පිළිබඳ ආර්ථික විශ්ලේශක ගයන්ත දෙහිවත්ත සමග ‘අරුණ’ කළ සංවාදයකි.
මේ වන විට ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වෙමින් යනවා. මහ බැංකුව කියන්නේ ඩොලරය ශක්තිමත් වෙන නිසා මේ විදියට රුපියල අවප්‍රමාණය වෙනවා කියලයි. ඇත්තටම රුපියල මේ විදියට කඩාගෙන වැටෙන්නේ ඇයි?
මහ බැංකුවේ ප්‍රකාශයේ කිසිම සත්‍යතාවයක් නෑ. ඩොලර් ඉන්ඩෙක්ස් එක ගත්තාම ඩොලරයේ අගය 2023 ජුලි මාසයේ තිබූ අගයට වඩා අඩු අගයක තියෙන්නේ. ඒ කියන්නේ ඩොලරය 2023 වසරේ ජුලි මාසයේදී පැවති තත්ත්වයට වඩා දුර්වලයි. ඒ විදියට ඩොලරය දුර්වල තැනක තිබියදී තමයි රුපියලේ අගය 2024 සහ 2025 වසරට වඩා දුර්වල වෙලා තියෙන්නේ.
ඔබ කියන ඩොලර් ඉන්ඩෙක්ස් එක ගැනත් පැහැදිලි කිරීමක් කරගෙන අපි ඉදිරියට යමු?
ඩොලරයේ ශක්තිය මනින මිනුමක් තමයි ඩොලර් ඉන්ඩෙක්ස් කියන්නේ. ඒක හදන්නේ ඩොලරය ලෝකයේ තිබෙන තවත් මුදල් ඒකක හයක් එක්ක සන්සන්දනය කරලයි. උදාහරණයක් විදියට 2024 සහ 2025 වසරවලදී ඩොලරය, යූරෝවලට සාපේක්ෂව කඩා වැටී තිබෙනවා. 2023 වසරේ ඉඳලාම යුවාන්වලට සාපේක්ෂව දුර්වල වෙමින් තිබෙනවා. ඩොලරය අවපාත වෙමින් තිබෙනවා.
සමහර ආර්ථික විශ්ලේශකයන් පෙන්වා දෙන්නේ මැදපෙරදිග යුද්ධය වැනි බාහිර සාධක නිසා ඩොලරයට තිබෙන ඉල්ලුම ඉහළ ගිහින් තිබෙනවා, මේ නිසා රුපියලට බලපෑමක් වෙලා තිබෙන බවයි. ඔබ මේක පිළිගන්නේ නැද්ද?
මේකත් අසත්‍යයක්. ජනතාව නොමග යවන ප්‍රකාශයක්. මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන යුදමය තත්ත්වය නිසා ඇත්තටම වෙලා තියෙන්නේ ඩොලරයට තිබෙන ඉල්ලුම අඩුවීමයි. 2001 වන විට ලෝක මහ බැංකු සංචිතවලින් සියයට හැත්තෑ දෙකක්ම ඇමරිකානු ඩොලරය මත යැපුණා. 2025 වන විට ඒක 58% දක්වා අඩු වුණා. අද වන විට 56%ත් 57%ත් අතරට වැටී තිබෙනවා. ඒ වෙනුවෙට රත්‍රං සහ යුවාන් වැනි මුදල් ඒකකවලින් පියවා ගැනීමට ගෝලීය මහ බැංකු කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව මැද පෙරදිග යුද්ධය, ඩොලරයේ ශක්තිය දුර්වල කරන සාධකයක්. ඉරානය විසින් හෝමස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව්වලට පහසුකම් සපයන්නේ යුවාන්වලින් ගනුදෙනු කරන රටවලට විතරයි. ඒක මුළු ලෝකයම දන්න කරුණක්.
එහෙනම් රුපියල අවප්‍රමාණවීමට ඇත්ත හේතුව මොකක්ද?
රුපියල අවප්‍රමාණය වීමට හේතුව විදේශ විනිමය වෙළෙඳපොළේ රුපියලට තිබෙන විශ්වසනීයත්වය නැතිවීමයි. අයෝජකයන් කොටස්, බැඳුම්කර සහ අනෙකුත් අයෝජනවල තිබූ, ආයෝජන නැවත ඩොලර්වලට හරවා විශ්වසනීයත්වයක් තිබෙන රටවලට යොමු කරනවා. ඒ කියන්නේ ආයෝජන වෙනත් තැන්වලට ගලා යනවා. විදේශ විනිමය වෙළෙඳපොළේ රුපියල දිගටම අවප්‍රමාණය වෙන බවට මතයක් ඇතිවී තිබෙනවා. ඉංග්‍රීසියෙන් මාර්කට් සයිකොලොජි කියලා හඳුන්වන්නේ මේක. ඒ කියන්නේ රුපියල කෙරෙහි තිබුණ මානසික නැංගුරම ගැලවී යනවා. රුපියල ශක්තිමත් බවට වන මතය එතැනින් එහාට රඳවා ගන්න බෑ. රුපියල කඩාගෙන වැටෙනවාය කියලා සමපේක්ෂණ ප්‍රහාරයක් රුපියලට එල්ල වෙනවා. රුපියල අවප්‍රමාණය වෙනවා කියලා විදේශ විනිමය වෙළෙඳපොළ විශ්වාස කරන නිසා රුපියල් විකුණා ඩොලර් මිලදී ගැනීමට විදේශ විනිමය වෙළෙඳපොළ කටයතු කරනවා. ‘බෑන්ඩ් වැගන් ඉෆෙක්ට්’ කියන්නේ මේකට. බැංකුවක් වැටෙනවා කියලා දැනගත්තාම මිනිස්සු බැංකුවේ තැන්පත් කරලා තිබෙන මුදල් අරගන්නවා වගේ වැඩක් තමයි මේ. මේක මනෝමූලික සංකල්පයක්. අපේ රට ආනයනය මත යැපෙන රටක්. ආහාරපාන පවා ආනයනය කරනවා. ඉන්ධන ප්‍රමාණවත් වන්නේ මාස තුනකට විතර. ඒකත් එකක් මේ තත්ත්වය අපට නරක විදියට බලපානවා.
ඔබ කියන්නේ රුපියලේ පාලනය මහ බැංකුවෙන් ගිලිහිලා ගිහින් කියන එකද?
රුපියලේ පාලනය මහ බැංකුවේ පාලනයෙන් ගිලිහිලා ගිහින් තියෙන්නේ. සුළු කුණාටුවකට හසුවුණ සරුංගලයක් වගේ විනිමය අනුපාතය මහ බැංකුවේ පරිපාලනයෙන් ගිලිහිලා විදේශ විනිමය වෙළෙඳපොළේ පුරෝකතනය මත තීරණය වන අගයක් බවට පත්වෙලා තිබෙනවා. මේ පුරෝකතනය තීරණය වන්නේ බෑන්ඩ් වැගන් ඉෆෙක්ට් එක අනුවයි. ඒක හරියට ඔබ එක තැනකට ගිහින් රුපියලේ අගය හෙට මොකද වෙන්නේ කියලා ඇහුවම කියන දේ තමයි හෙට වෙන්නේ.
මහ බැංකුව විසින් ගත්ත ප්‍රතිපත්තිමය තීරණ නිසා 2023 වසරේදී රුපියල අවප්‍රමාණය වීම පාලනය කරගත් බව මහ බැංකුව ප්‍රකාශ කරනවා. මේක ඔබ පිළිගන්නේ නැද්ද?
මොන බොරු කතාවක්ද ඔය. මේක ජනතාව මංමුලාවේ දැමීමට කියන කතා. 2022 ජුනි මාසයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට බවට පත්වීමෙන් පසුව අපි යළිත් ණය ගැනීමට පටන් ගත්තා. ඒ අනුව අලුත් ඩොලර් නැවත සංචිතයට එකතුවෙන්න ගත්තා. අලුත් ණය සංචිතවලට එකතුවෙන්න ගත්තාම රට ස්ථාවර වෙන්න ගත්තා. ඒත් එක්කම 2024 වසර වන විට විදේශ විනිමය වෙළෙඳපොළේ රුපියල කෙරෙහි විශ්වසනීයත්වයක් ගොඩනැගෙන්න පටන් ගත්තා. විදේශ විනිමය වෙළෙඳපොළේ, වෙළෙඳපොළ මනෝභාවය සුබවාදී වෙන්න පටන් ගත්තා. ආනයන සඳහා ගෙවීමට ප්‍රමාණවත් විදේශ විනිමය තිබෙන බවට විදේශ විනිමය වෙළෙඳපොළට තහවුරු වුණා. විදේශ විනිමය වෙළෙඳපොළේ තිබුණ බය නැතිවෙලා, විශ්වසනීතයත්වය වර්ධනය වුණා. ඒකත් එක්ක රුපියලට නැංගුරමක් වැටුණා. ඒ නිසා මේපාරත් කරන්න වෙන්නේ ඒකම තමයි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති රාමුවේම ඉන්නවා නම් අපට තවදුරටත් ඩොලර් ණය ලබාගැනීමෙන් හැර රුපියල පාලනය කිරීමට වෙන කිසිම පියවරක් නැහැ. කයිය ගහනවා හැර මහ බැංකුවට කරන්න පුළුවන් කිසිම දෙයක් නෑ.
ඔබ හිතන විදියට රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීමට කිසිම දෙයක් නෑ?
අප ජාත්‍යන්ර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති රාමුව තුළ ඉන්න ඉතා දුර්වල ආර්ථිකයක් තිබෙන රටක්. අප දැනටමත් ඉතා විශාල විදේශ ණය ප්‍රමාණයක් කර ගහගෙන තවදුරටත් ආහාර පාන පවා ආනයනය මත යැපෙන රටක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති රාමුවට අනුව ආනයන සීමා කරන්න බෑ. මූල්‍ය විදේශ ගතවීම පවා පාලනය හිමිවී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රමුඛ ණය හිමියන්ටයි. මේ තත්ත්වය තුළ මහ බැංකුවට රුපියලේ අගය ස්ථාවරව පවත්වාගෙන යාමට ගියොත් තිබෙන ඩොලර් සංචිත හිඳෙනවා. එහෙනම් ඩොලර් විකුණා රුපියල් නැවත මහ බැංකුව තුළට ගත යුතුයි. එහෙම කළත් ඒක කරන්න පුළුවන් වෙන්නේ ඉතාමත් සීමිත කාලයකට විතරයි. අවශ්‍ය නම් පසුගිය වර කළා වගේ පොලී අනුපාතය ඉහළට අරගෙන ඇවිත් පරිභෝජනය සීමා කළ හැකියි. ඒකෙන් වෙන්නේ ජනතාවගේ පුද්ගලික ආර්ථිකය කඩාගෙන වැටෙන එක විතරයි. ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. ඒ නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ රාමුව තුළ තිබෙන එකම විසඳුම වෙන්නේ ඩොලර් ණය ලබාගෙන රුපියල ස්ථාවර කිරීම විතරයි. එහෙම කළොත් අපේ රටේ ස්වෛරීත්වයට දිගින් දිගටම හානි වෙනවා. අපේ මහ බැංකුව විදේශ ණය හිමියන්ගේ අණ මත නැටවෙන රූකඩ ආයතනයක් හෝ ඒජනත් ආයතනයක් බවට පත්වෙනවා.
මේ අවුරුද්දේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරික කිහිපයක් ලැබීමට නියමිතයි. ඒත් එක්ක නැවත වරක් රුපියල ශක්තිමත් වෙන්න පුළුවන් නේද?
ඒකෙන් රුපියලට තාවකාලික නැංගුරමක් ලැබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන හත්සීයක්, අටසීයක් විතර ආවොත් ඒ නැංගුරමෙන් රුපියල මාස කීපයක් අල්ලාගෙන ඉන්නවා. හැබැයි ඊට පස්සේ අයිමත් ඒ නැංගුරම ගැලවෙනවා. එහෙම ශක්තිමත්ව තියාගන්න නම් ඩොලර් බිලියන හය හතක් රටට එන්න ඕන. දැන් මේ මේ ගැලවෙන්නේ රුපියල කෙරෙහි තිබුණ විශ්වසනීයත්වයේ නැංගුරමයි. අලුත් ඩොලර් සංචිතයට එනකම් මේක ස්ථාවර කරන්න බෑ. රනිල් වික්‍රමසිංහ මේක දැනගෙන හිටියා. ඒ නිසා තමයි ඔහු අලුත් ඩොලර් අරගෙන ඇවිත් මේක ස්ථාවර කළේ. රට ඇතුළට එන ඩොලර් ප්‍රමාණය මත තමයි කොතරම් දුරට ස්ථාවර වෙනවාද කියන එක තීරණය වන්නේ. ආයෙමත් රට ඇතුළට ඩොලර් එනතුරුම රුපියල අවප්‍රමාණවීම නතර කරන්න බෑ.
ලෝකයේ තෙල් මිල ඉහළ යාම නිසා අපේ රටට වැඩි මිලට ඉන්ධන මිලදී ගැනීමට සිදුව තිබෙනවා. ඒක ඩොලරයට සාපේක්ෂව රුපියල පාවීමට බලපාපු ප්‍රධාන හේතුවක් නෙමෙයිද?
අපේ මූලධාර්මික ගැටලුවක් තිබෙනවා. ඒ මූලධාර්මික අවුල මතට තමයි ලෝක තෙල් මිල ඇවිත් තියෙන්නේ. ලෝකයේ ඇතිවූ තත්ත්වය නිසා අපේ රටේ රුපියල අවප්‍රමාණ වුණා නෙමෙයි. මූලධාර්මික තත්ත්වය මත කොහොමත් රුපියල් අවප්‍රමාණ වෙනවා. ලෝකයේ ඇතිවූ තත්ත්වයෙන් ඒක වේගවත් කිරීම පමණයි සිදුවුණේ. ඉන්ධන විතරක් නෙමෙයි පොහොර මිලත් ඉහළ ගිහින් තියෙනවා.
වාහන ආනයයේදී අය කරන බදු මත සියයට පනහක අධිභාරයක් පැනවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කරලා තිබෙනවා. වාහන ආනයනය නිසා ඩොලර් සංචිත පහළට ගොස් රුපියල අවප්‍රමාණය වූ බවත් පැවසුණා. දැන් මුල් අමාත්‍යාංශය ගත් තීරණය නිසා රුපියල පාවීම නතර කරගත හැකිද?
මහා භාණ්ඩාගාරය පිරී ඉතිරී යන තරමට ධනය තිබෙනවා කියලා දැනට මාස කිහිපයකට කලින් කිව්වානේ. එහෙම කියලා දැන් වාහන ආනයනය මත අධිභාර පැනවීමෙන් පේන්නේ ආණ්ඩුව කොයිතරම් දුරට පැනික් වෙලා ඉන්නවාද කියන එකයි. ආණ්ඩුව දැන් ව්‍යාකූලත්වයට පත්වෙලා ඉන්නේ. ආණ්ඩුව මේ තීරණය ගන්න කලින්ම වාහන ආනයනය අඩු වෙලා තිබුණේ. එහෙම තිබියදී ආණ්ඩුව ගත්ත මේ තීරණයෙන් කිසිදු ප්‍රයෝජනයක් ලැබෙන්නේ නෑ. ඒ වගේම තමයි මේක ආණ්ඩුව ගනිපු මෝඩ තීරණයක්. දැන් මූල්‍ය වෙළෙඳපොළට යන පණිවුඩය මොකක්ද? ආණ්ඩුවට ඩොලර් නැහැ කියන පණිවුඩය තමයි යන්නේ. ඒ නිසා තවදුරටත් රුපියලට එල්ලවන සමපේක්ෂණ ප්‍රහාරය වැඩි වෙනවා. ආණ්ඩුව දැන් දීලා තිබෙන සංඥාව අනුව වෙන්නේ රුපියලේ අවපාතය වේගවත් වීම විතරයි. ආයෝජකයන් තවදුරටත් තම ආයෝජන (පෝට්ෆෝලියෝ කැපිටල්) ඉවත් කරගන්නවා. ඇත්ත වශයෙන්ම මෙම තත්ත්වයන් යටතේ විනිමය අනුපාතය තීරණය කරන්නේ ආනයනය විදයම් නොවේ. එය තීරණය කරන්නේ ආයේජනවලින් (පෝට්ෆෝලියෝ කපිටල්) ඉවත් වන ඩොලර් ප්‍රමාණයයි.
වෙළෙඳ පරතරය අඩු කරගෙනවත් මේ රුපියල පාවෙන එක පාලනය කරගන්න බැරිද?
නව ලිබරල් නිදහස් වෙළෙඳපොළ ආර්ථික න්‍යාය කියන ආකායරට අන්තර්ජාතික වෙළෙඳාම සෑම විටම සමබර තත්ත්වයක පසුවිය යුතුයි. යම් ආකාරයකින් යම් රටක වෙළෙඳ අනුපාතයේ පරතරයක් ඇතිවුණොත් එම රටේ මුදල් ඒකකය අවපාත වී නැවත වරක් වෙළෙඳ පරතරය සමබර තත්ත්වයට පත්වේ. ඒ අනුව වෙළෙඳ පරතරය විසින් විනිමය අනුපාතය තීරණය වෙයි. ඒත් අපේ රට වගේ රටවල් දිහා බැලුවම මේක ඇත්ත නෙමෙයි. පසුගිය අවුරුදු හතළිස් අටෙන් හතළිස් පහක් විතරම වෙළෙඳ පරතරය සෘණ මට්ටමක තිබුණේ. මුදල් ඒකකය දිගින් දිගටම අවපාත වුණත්, වෙළඳ පරතයර සමපාත වුණේ නෑ. ඒක වෙනුවට මහා විශාල ණය කන්දක් එකතු වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති සෑදීමේදී පාදකවූ ආර්ථික න්‍යායන් කිසිවක් මහ පොලොවේ යථාර්ථයට සම්බන්ධයක් නෑ. ඒ වෙනුවට අපට දක්නට ලැබෙන්නේ දිගටම අවපාත වන විනිමය අනුපාතයත්, ගොඩගැසෙන ණය කන්දක් විතරයි. මේ විදියට අවුරුදේදෙන් අවුරුද්ද අපේ ස්වෛරීත්වය විනාශ කරගෙන ක්‍රමයෙන් ණය හිමියාට රට ගොදුරු කිරීම පමණයි සිදුවෙන්නේ.
