June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආණ්ඩුවේ සහ විපක්ෂයේ උභතෝකෝටිකය !

1 min read

ආණ්ඩුව පසුවන්නේ සුළුපටු අවුලක නොවේ. අපට අනුව නම් ආණ්ඩුව ගොදුරුව ඇත්තේ සිය ඉරණම කෙරෙහි තීරණාත්මකව බලපාන අවුලක ය. අප පවසන මේ “අවුල” කුමක්ද ?

ආණ්ඩුව නමැති “පවුලම” අවුලකි. ආර්ථික අර්බුදයකින් බැට කා ඇති රටක් ගොඩනැගීමට තබා, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් ඉහළට ඔසවාලීමට ප්‍රමාණවත් තරමේ සිතීමේ ශක්තියක් මේ “පවුල” තුළ නැත. මේ පවුලේ සාමාජිකයන් මහජනතාව සතුටු කරන්නේ පුංචි දේවල් ලොකු කර පෙන්වමින් ය.

එක්කෝ ඔවුන් පෙන්වන්නේ ජනාධිපතිගේ සරලකම ය. ගෝඨාභය සරල වූයේ මීටත් වඩා ය. ඔහු සරල වූවා කියා මිනිසුන් පරලවීම නොවුණේ නැත.

මහනුවර පැත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියක් මහජනතාව සතුටට පත්කරන්නට පෙන්වන්නේ උමං මාර්ගයක අඳින ලද කහ ඉරක්ය. ඒ කහ ඉර ඇයට මහ මෙරටත් වඩා වටිනේය.

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති මහජනතාව සතුටට පත් කරන්නේ පාරක ටික දුරක් කාපට් කරලා ය. ඔහුගේ ඇමැති බිමල් පොදු ජනතාව පිනවන්නේ පරණ බස් නැවතුම්පොළක තින්ත ගාලා ය. නවීකරණය කරලා ය.

ඊයේ පෙරේදා කඩුවෙල නියෝජනය කරන ආණ්ඩුවේ මන්ත්‍රී අසිත නිරෝෂණ තම මුහුණු පොතේ සටහන් කර තිබුණේ “කඩුවෙල ජල සැපයුම යථා තත්වයට. ජල සම්පාදන මණ්ඩලයේ කාර්ය මණ්ඩලයට, කඩුවෙල පොලිසියට සහ පීඩාව දරා සිටි ජනතාවට ස්තුතියි” කියාය. කූඹියාට තම හුජ්ජ පොදත් මහා ගංගාවක් බව අපට වැටහෙන්නේ මේ “ස්වයං ආතල්” දකින විටය. මේ වර්ගයේ උදාහරණ තව ඕනෑතරම් ඉදිරිපත් කළ හැකිය.

කයිය පමණක් වන කෙරුවාව බිංදුවේ ඇති මේ අයියලා එක්ක රටක් කරනවා යනු හද්ද අමාරුවේ වැටෙන වැඩකි. රටේ ජනාධිපතිට ද “පාපිසි” තල්ලු කරගෙන ඉදිරියට රැගෙන යන විශේෂිත සංවර්ධන මෙහෙයුමක් ඇත්තේ නැත. ජනාධිපති ඉන්නේ වල්මත් වී ය. ආවේ වමෙන් ය. ඉන්නේ දකුණේ ය. දූෂණ විරෝධය දැන් බේරෙන්නේ රෙද්ද පල්ලෙන්ය.

ජනප්‍රිය පුවත්  ''නඩු බලවන" සූරසේන!

මේ සියලු හේතු කාරණා මත ඉදිරියට යන්න යන්න ආණ්ඩුවේ දේශපාලන නායකත්වය පිරිහීමට ලක් වන්නේය. විශ්වාසය බිඳ වැටෙන්නේය. ආණ්ඩුවේ ලොක්කෝ මේ බව නොදන්නවා විය හැකිය.

ආර්ථිකය ද දවසින් දවස ගමන් කරමින් ඇත්තේ තව තවත් අවුලට ය. 2026 මාර්තු වන විට ඇ.ඩො.බි 7 ක්ව පැවති විදේශ වත්කම් සංචිතය, අප්‍රේල් මාසය වන විට 3.8% අඩු වී ඇත. ඒ අනුව මේ වන විට මෙරට නිල සංචිත ඇත්තේ ඇ.ඩො.බි 6.75 ක් ය. අනුර කුමාර ජනාධිපතිවන විට එහි පැවැතියේ ඇ.ඩො.බි 6 ක් ය. ඒ අනුව දැන් ප්‍රවණතාව නිර්මාණය වී ඇත්තේ සංචිත තව තවත් අඩුවීමේ දෙසට ය.

රුපියල ද වේගයෙන් කඩා වැටෙමින් තිබේ. ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව දැන් රුපියල් විකුණුම් මිල 325 ත් පැනලාය. කප්පිත්තකු නැති යාත්‍රාවක් කුණාටුවකට හසුව ඔහේ ඇදී යන අන්දමට දැන් ඔහේ පාවෙන්නේ මුළුමහත් ආර්ථිකයම ය.

ආණ්ඩුව දන්නේ බදු ගහන්නට ය. බදු වැඩි කරන්නට ය. තෙල්, විදුලිය මිල වැඩි කරන්නට ය. එමගින් සියළු භාණ්ඩ හා සේවා මිල වැඩි කරන්නට ය. ආර්ථිකය තව තවත් හකුළවන්නට ය. අමාරුවෙන් හුස්ම ගන්නා ව්‍යාපාර හා කර්මාන්ත ද එමගින් වැසීයන ඉරණමට ගොදුරු කිරීමට ය. මෙලෙස කෙළවන්නට ආණ්ඩුවක් උවමනා වන්නේ නැත.

මෙම වර්ධනය වන තත්වය යටතේ ජන සමාජයේ දේශපාලන ආදිපත්‍යය බිඳ වැටෙන බව ආණ්ඩුවේ ලොක්කන් දැන සිටිය යුතුය. එවිට කළ හැක්කේ කුමක් ද ? අපට අනුවනම් කළ හැකි දේවල් දෙකක් තිබේ. එකක්නම්, ලැබෙන පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහජන කෝපය පිට කිරීමට ඉඩ සලසා දීම ය. එමගින් අඩුම තරමින් ජනාධිපතිට තම පුටුවවත් බේරා ගත හැකිය. මහ මැතිවරණය ප්‍රමාද වන තරමට, ආණ්ඩුවට ලැබෙනු ඇති මන්ත්‍රී ආසන සංඛ්‍යාවද අඩු වන්නේ ය. එබැවින් ලබන වසරේ මැයි මාසයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර ගුටි කෑමේ ඉරණමෙන් ගැලවීම හොඳම තෝරාගනීම වනු ඇතැයි සිතිය හැකිය.

ජනප්‍රිය පුවත්  හිඟන්නාට ''පවුඩර්" දැමීම

එම තෝරා ගැනීමට පෙර, අවශ්‍යනම් තව තෝරාගැනීමක් ආණ්ඩුව ඉදිරිපිට ඇත. ඒ, බිමල්ලා සහ ලාල්ලා දැනටම ප්‍රකාශ කර තිබෙන පරිදි එ.ජා.ප. යේ සහ ස.ජ.බ. යේ “හොඳ මහත්වරු” එකතු කරගෙන ආණ්ඩුව ජාතික ආණ්ඩුවක ස්වරූපයට පත් කර ගැනීමය.

එරාන් වික්‍රමරත්න ට ක්‍රිකට් අතුරු පාලනය දුන්නේ, තම උග්‍ර ජ.වි.පෙ පාක්ෂිකයාට ඒ “බෙහෙත” හුරු කරවීමට ය. මුලින්ම පොවන්නේ “මාත්‍රාව” පෙති භාගයකිණි. පසුව එය අධි මාත්‍රාවෙන් පෙවිය හැකිය. ඒ අනුව, සජිත් ප්‍රේමදාසට අගමැතිකම පිරිනමා හෝ එවන් හවුලක් ඇති වීමට ඉඩක් නැතැයි සිතිය නොහැකිය.

එවන් තත්වයකදී සජිත් හැසිරෙනු ඇත්තේ කෙලෙසද ? සජිත් ඉන්නේ, දේශපාලන බිමේ “ජය නියතයි” තත්වයේ නොවේ. ආණ්ඩුවට පිරිහුනාට, එය ගැන කලකිරෙන පිරිස සජිත් වටා එකතුවන බවක් පෙනෙන්නට නැත. එමෙන්ම, සජිත් කෙරෙහි එල්ල වී තිබෙන රනිල් සාධකයේ අහිතකර බලපෑම ද තුරන් වී නැත. සජිත් දැන් ඉන්නේ ජනාධිපතිවරණ දෙකක් පැරදිලා ය. එවැනි තත්වයක් තුළ “නව ජාතික ඒකාග්‍රතා” පාලනයක් තුළ තමන්ට ද තත්වයක් ලැබෙන පරිදි ඉන්න හිත හදාගැනීමේ ඉඩක් ද සජිත්ට අදාළව තිබිය හැකිය.

රනිල් අනුරට රට බාර දෙන විට රුපියල ඩොලරයට සාපේක්ෂව 293 ය. අද වන විට එය 325 ය. එක රුපියලකින් රුපියල අවප්‍රමාණය වන විට අපේ ණය බර රු.බි. 37 කින් ඉබේම වැඩි වන්නේ ය. 293 තිබූ රුපියල 325 වූ විට අතිරේකව මෙරට ණය බරට රු.බි. 1257 ක් එකතු වී ඇත. මේ මුදල ආණ්ඩුව හොයන්නේ කොහෙන්ද ? මහජනයා මත බදු බර පටවා හැර ඒ අතිරේක ගාන සොයන්නට වෙන ක්‍රමයක් ආණ්ඩුව දන්නේ නැත. ඉදිරියේ දී දරුණු පීඩනයෙන් බැට කන මැද පංතිය ඇතුළු මුළු මහත් සමාජය ආණ්ඩුව සමග ගැටුමට එළඹෙනු ඇත්තේ විපක්ෂයට ද බම්බු ගසන්නටයැයි කියමින් ය.

ජනප්‍රිය පුවත්  අල්ලාපන් බං ඔට්ටූ!

රට වේගයෙන් ගමන් කරමින් ඇත්තේ තීරණාත්මක අර්බුදයක් කරා ය. 2028 දී බැඳුම්කර ණය ගෙවිය නොහැකිවුවොත් රට වැටෙන්නේ මෙතෙක් අත් නොවිඳි අඳුරුතම ඉරණමකට ය. මරණ 3 ක් නොව 10 ක් ඇති මිනිහෙක් කමින් ඉන්නේ පැණි පමණක් නොවේ. කිරියි පැණියි දෙකමය. ශ්‍රී ලංකාව වේගයෙන් තම පැවැත්මේ අඳුරු කෙළවර කරා ගමන් කරමින් තිබෙන බව නොදන්නේ ආණ්ඩුව පමණක් ද ? විපක්ෂය ද ඒ ගැන මෙලෝ දෙයක් දන්නේ නැත. දැන් නොදන්නාවුන්ගෙන් තවත් නොදන්නාවුන් අතට බලය මාරු කිරීමෙන් ඵළක් නොවේ. එවැනි බලය හුවමාරු කරගැනීම් වෙතින් රට ගොදුරුව ඇති අඳුරැතම ඉරණමෙන් බේරා ගත හැකි නොවේ. එබැවින් ප්‍රපාතය පාමුල සිට සැවොම මේ නිර්දය සත්‍යයට අවංක විය යුතුය. එසේ නොවන්නේනම්, සිදුවනු ඇත්තේ සාමූහික වැලලීයාමක් ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x