June 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ස්විට්සර්ලන්තයේ ජනගහනය කෝටියකට සීමා කිරීමේ යෝජනාව ප්‍රතික්ෂේප වෙයි

1 min read

ස්විට්සර්ලන්තයේ සමස්ත ජනගහනය මිලියන 10කට සීමා කිරීම සඳහා ඉදිරිපත් වූ මතභේදාත්මක යෝජනාව එරට ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව මූලික ඡන්ද පුරෝකථන වාර්තා පවසයි.

සියලුම ඡන්ද ගණන් කර අවසන් වී නොමැති වුවද, දැනට ලැබී ඇති දත්ත අනුව ඡන්දය ප්‍රකාශ කළ පිරිසෙන් 55%ක් මෙම යෝජනාවට විරුද්ධව ද, 45%ක් ඊට පක්ෂව ද ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

දිගු කලක සිට සංක්‍රමණික විරෝධී මතවාදයක් වෙනුවෙන් පෙනී සිටින දක්ෂිණාංශික ‘ස්විස් මහජන පක්ෂය’ විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

මෙම තීරණාත්මක ජනමත විචාරණය හේතුවෙන් යුරෝපා සංගමය සමඟ ස්විට්සර්ලන්තය ඇති කරගෙන තිබූ ‘පුද්ගල නිදහස් සංචරණ ගිවිසුම’ ද දැඩි අවදානමකට ලක්ව තිබූ බව සඳහන් වේ.

2002 වසරේදී මිලියන 7.3ක් ලෙස පැවැති ස්විට්සර්ලන්ත ජනගහනය, මේ වන විට මිලියන 9.1ක් දක්වා වේගයෙන් වර්ධනය වී ඇත.

ඉන් 27%ක්ම ස්විස් පුරවැසිභාවය නොමැති බාහිර පුද්ගලයෝ බව සඳහන් වේ.

ජනගහනය සීමා කිරීම මඟින් ප්‍රවාහනය, නිවාස සහ පරිසරය මත ඇති වන පීඩනය අවම කරගත හැකි බවට මහජන පක්ෂය තර්ක කළ ද, ඡන්දදායකයන් බහුතරයක් ඊට එකඟ වී නැත. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය, රෝහල් සහ වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන සඳහා අත්‍යවශ්‍ය වන විදේශීය ශ්‍රමිකයන් අහිමි වේ යැයි බොහෝ දෙනා බිය පළ කර සිටියි.

ජනප්‍රිය පුවත්  රනිල් යළි වැඩට බහී

එසේම ස්විස් ව්‍යාපාරික නායකයන් බිය වී ඇත්තේ, මෙමඟින් යුරෝපයේ පොදු වෙළෙඳපොළට ස්විට්සර්ලන්තයට ඇති ප්‍රවේශය අහිමි වනු ඇති බවටය.

ස්විට්සර්ලන්තයේ නිෂ්පාදනවලින් අඩකට වඩා අලෙවි වන්නේ යුරෝපා සංගමයේ රටවලට වන අතර, එම වෙළෙඳපොළ අවස්ථාව හිමි වන්නේ යුරෝපීය ජනතාවට රට තුළ නිදහසේ සංචරණය වීමට ඉඩ දීමේ එකඟතාව මතය. යම් හෙයකින් මෙම යෝජනාව සම්මත වූයේ නම්, ස්විට්සර්ලන්තයට එම ගිවිසුම අහෝසි කිරීමට සිදු වේ.

තවද, වත්මන් අස්ථාවර ලෝක දේශපාලන වාතාවරණය හමුවේ තම රට තනි වනු ඇතැයි ද ස්විස් වැසියන් කනස්සල්ලෙන් සිටින බව සඳහන්වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x