භික්ෂුව හා සසුන
1 min read
“දැන් නම් බෞද්ධ කියන්නත් ලැජ්ජයි….“ මා මිත්‍රයෙක් එසේ කීවේය!
“ඕක තමයි අපි දැන් ආරන්‍යයක ස්වාමීන් වහන්සේලාට දාන මාන දෙන්නේ….පන්සල් වැඩක් නෑ….“ තවත් මිතුරෙක් එකතු කළේය.
බුදුන් දවස එක්තරා භික්ෂුවක් ගිහි ස්ත්‍රියක් පිළිබඳ ආලයෙන් බැඳුනේය. ඒ ස්ත්‍රීය මියගොස් අමුසොහොනෙහි දමා කලකට පසු ඉතිරිවූ ඇටකටු එක්කොට යම් ලිංගික ක්‍රියාවක් කිරීමට උත්සහ කළේය. තවත් භික්ෂුවක වැඳිරියක සමග ලිංගිකව හැසුරුනේය. විනය පිටකයේ පාරාජිකා පාලියේ තමත් මෛථුන්‍ය පාරාජිකාවට අදාලව මෙවැනි තවත් බෙහෝ කරුණු හා සංසිද්ධීන් තිබේ.
මෙම සටහන කිසිසේත්ම දුස්සීල භික්ෂූන් (භික්ෂූන් වහන්සේලා යැයි මෙතැනදී මම භාවිත නොකරමි) වෙනුවෙන් නිර්ලජ්ජීව පෙනී සිටීමේ වෑයමක් නොවේ. ශාසනය වෙනුවෙන් පෙනී සිටීමේ කුඩා උත්සහයකි. මේ පින්තූරය දින කිහිපයකට පෙර India Today ෆේස්බුක් පිටුවේ පළවූවකි. කටුනායක ගුවන් තොටේදී මත්ද්‍රව්‍ය සහිත ගමන් මළු රැගත් චීවරධාරීන් පිරිසක් අත්අඩංගුවට පත්වීමේ සිදුවීමේ උනුසුම පහව යන්නටත් ප්‍රථම ලෝවැසි බෞද්ධයන්ගේ අතිමහත් වන්දනයට පාත්‍ර වූ මහ සෑ රජානන් වහන්සේගේ භාරකාරත්වය දරන මේ භික්ෂුව සම්බන්ධ සිද්ධිය මතුවන්නේය.
මෙවැනි සිදුවීම් තවතවත් ඉදිරියේදී අනාවරණය වන්නට හා අදාල භික්ෂූන්ට හෝ ශ්‍රමන වේශධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නට ඉඩ තිබේ. එවැනි අනාවරණයන් සිදුවීමේදී මතුව එන සමාජ ප්‍රතිචාරය තෙවැදෑරුමිය.
පළමුවැන්න, මේ සම්බන්ධයෙන් ධර්මානුකූලව විමසා ධර්මානුකූලවම තේරුම් ගැනීමේ ස්වභාවයයි. භික්ෂුන්ගේ ගුණ අගුන අනුව ශාසනය හෝ ධර්මය විනිශ්චය කරනු වෙනුවට ධර්මානුකූලව භික්ෂුව දැකීමේ නිවැරදි ක්‍රමවේදී එලඹුමට අවතීර්ණ වන්නේ අතලොස්සකි.
දෙවැන්න, තමන් විසින් උපයා සපයාගත් ධනයෙන් සිව්පසය සපයා, නඩත්තු කරනු ලබන ශාසනයේ (විශේෂයෙන්ම මූලස්ථාන භාර) පැවිදිවූ බුද්ධ පුත්‍රයන් වහන්සේලා මෙසේ දුස්සීල වන්නේ කෙසේදැයි සිතමින් කරන තැවීම හා දෝමනස්සයයි. විටෙක එය ඉතා අවංකව සීමිත අවලාද නැගීමක් දක්වා වර්ධනය විය හැකි අතර, සමස්ත ශාසනය සම්බන්ධයෙන්ම විශාල කලකිරීමක්, ඉච්ඡාභංගත්වයක් දක්වාම බරපතල විය හැක. එවැනි පරිස්, එවැනිම තවත් අය හා මෙම තොරතුරු හුවමාරු කරගැනීමෙන්, අවිධිමත්, එහෙත් ශාසනය පිළිබඳ කලකිරුනු දෘෂ්ටිමය වශයෙන් නිරාගමික තත්ත්වය දක්වාද ප්‍රශ්නය උග්‍රවිය හැක. සටහන ආරම්භයේ මා උපුටා දැක්වූ මිත්‍රයන් දෙදෙනාගේ ප්‍රකාශ මේ දෙවැනි ප්‍රතිචාර කාණ්ඩයට අයත්යැයි සිතමි.
තෙවැනි පිරිස, මේ සිදුවීම් ‘උස්සා‘ සියලු භික්ෂූන් වහන්සේලා දුස්සීලය යන සාමාන්‍යකරණය කරමින් බෞද්ධ සමාජ සංස්ථාවේ පූර්ණ අකර්මන්‍යතාව ප්‍රාර්ථනා කරන, ආගමික දේශපාලනික හෝ ආර්ථික හේතුමත ඒ වෙනුවෙන්ම අතිශයෝක්තියෙන්, විසිහතර පැයේම දින හතේම ක්‍රියාත්මක පිරිසය. සියුම්ව ශාසනය විසංවිධානය කිරීමේ මහා පරිමාණ ව්‍යාපෘති මැද, භික්ෂූන්ගේ (භික්ෂූන් වහන්සේලාගේ නොවේ!) පහත් චර්යාවන් ඒ ශාසන විරෝධී බලමුලු වලට සපයන්නේ විශාල අනුබලයකි.
සටහනේ ආරම්භයේ මා දක්වා ඇති පාරාජිකා පාලියේ සඳහන් සිදුවීම් වලට සාපේක්ෂව බලන්නේ නම් දැන් ශාසනය වඩාත් යහපත්ය. ආරම්භයේ සිට ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ විනය නීති පැනවීමේ අවශ්‍යතාව වරින් වර සිහිපත් කළද, සුදින්න නම් භික්ෂුව සිය ඥාතීන්ගේ බලකිරීම මත ගිහි කළ භාර්යාව සමග මෛථුන්‍යයේ යෙදුනු සිද්ධිය දක්වාම, එනම් ශාසනාරම්භයෙන් වසර විස්සක් ගතවන තෙක් තථාගතයන් වහන්සේ “සබ්බ පාපස්ස අකරණං“ ආදී වශයෙන් ඇරඹෙන ඕවාද ප්‍රාතිමෝක්ෂය පමනක් දේශනා කොට වදාලහ.
එහෙත් එකී සුදින්න නම් භික්ෂුවගෙන් අරඹා, විවිධ අවස්ථා වලදී, පාරාජිකා ඇවත, සංඝාධිසේස ඇවත, හා දුකුලා ඇවත ආදී ඇවැත් නොහොත් වැරදි සිදුවූ අවස්ථා වලදී ඇවැතට අදාලව ඒ ඒ භික්ෂුව සම්බන්ධයෙන් වෙන් වෙන්ව ක්‍රියාකොට, උපසම්පදාවෙන් පහකිරීම, අදාල විනය කර්ම හෝ ඇවැත් දෙසීම් ආදියෙන් කටයුතු කලා මිස එක් භික්ෂුවකගේ හෝ භික්ෂූන් පිරිසකගේ වැරදි අනුව සමස්ත ශාසනය වැරදි විනිශ්චයකට ලක්වීමට ඉඩ නොතබන ලදි. මාගේ උද්දේශය අනෙකක් නොව, එනිසාම කිසිවකුටත් සමස්ත ශාසනයම දෝෂ දර්ශනයට ලක් කිරීමට ඉඩ නොලැබුනු බව අවධාරණය කිරීමයි. එනිසාම අදටත් ඒ ක්‍රමවේදය වලංගුය!
ගැටලුව ශාසනිකය. විසඳුමද ශාසනික සම්ප්‍රදාය තුළමය. ගිහි දේශපාලනය අදාලම නැත. බුද්ධ කාලයේ සිටම ශාසනයට එරෙහි කුමන්ත්‍රණ ඇති බව පැහැදිලිය. එය වලංගු සටන් පාඨයකි. එහෙත් දුසිල්වතුන් රකිනු වස් ඒ සටන් පාඨය අවභාවිත කරන්නේ නම්, එතැන ඇත්තේ ශාසනාලයක් නොවේ; ශාසන නාශනයකි! රටේ නීතිය අනුව දඬුවම් කළ යුතු වරදක් සිදුවී ඇත්නම්, ශාසනික වශයෙන් තීන්දුව දුන් පසුව රටේ නීතිය ක්‍රියාත්මක කළ හැක. වැරදි කරන්නේ පුද්ගලයෝය. ශාසනය විත්ති කූඩුවට නැග්ගවිය යුතු නැත.
– චමිල ලියන්ගේ –