July 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සහල් වලින් සත්ව ආහාර, බියර්, වයින්, බිස්කට් සහ කේක් හදනවා.. බාධාවූ ගැසට් එක ඉවත් කලා..- ජනපති

1 min read

මෙරට සහල් පරිභෝජනය බත් සඳහා පමණක් සීමා නොකර සහල් ආශ්‍රිත අනෙකුත් අතුරු නිෂ්පාදන සඳහා ද යොදා ගැනීමෙන් සහල් සඳහා වූ වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර ගැනීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ නව ජල ව්‍යාපෘතියක් විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමිනි.

පසුගිය කාලසීමාවේදී මෙරට වී නිෂ්පාදනය අවම මට්ටමක පැවතීම හේතුවෙන් සහල්වලින් වෙනත් නිෂ්පාදන සිදු කිරීම තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ බවත් සිය රජය විසින් එම ගැසට් නිවේදනය ඉවත් කිරීමට පියවර ගත් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

වී අතිරික්තයක් පවතින අවස්ථාවලදී ගොවියා මුහුණ දෙන අර්බුද මඟහරවා ගනිමින්, වී සඳහා වෙළඳපොළේ ඉහළ තරඟකාරීත්වයක් සහ සාධාරණ මිලක් ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගත් බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ඉදිරියේ දී මෙරට තුළ බත්වලට අමතරව සත්ව ආහාර, බියර්, වයින්, බිස්කට් සහ කේක් වර්ග ඇතුළු විවිධ අගය එකතු කළ නිෂ්පාදන සඳහා සහල් භාවිත කිරීමට සැලසුම් කර ඇති බවය.

ජනප්‍රිය පුවත්  ප්‍රදේශ කිහිපයකට අද පැය 12ක ජල කප්පාදුවක්

පසු අස්වනු නාස්තිය වැළැක්වීමේ ආයතන විසින් සහල් ඇසුරෙන් නිෂ්පාදනය කළ හැකි ආහාර පාන වර්ග රැසක් දැනටමත් පර්යේෂණ මට්ටමින් සොයාගෙන ඇති අතර, ඒවා කඩිනමින් වාණිජමය වශයෙන් වෙළඳපොළට හඳුන්වා දීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

මෙමඟින් වී මිලදී ගැනීම සඳහා සාමාන්‍ය මෝල් හිමියන්ට අමතරව, වයින්, බිස්කට් මෙන්ම සත්ව ආහාර නිෂ්පාදකයන් ද තරඟකාරී ලෙස වෙළඳපොළට ඉදිරිපත් වන බැවින් ගොවීන්ට තමන්ගේ අස්වැන්න සඳහා වඩාත් සාධාරණ සහ ඉහළ මිලක් ලබා ගැනීමට අවස්ථාව හිමිවන බවද එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව වගා ඵලදායිතාව සහ මහන්සිය තවදුරටත් ඉහළ නංවමින්, මෙම නව වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් වී වගාව පුළුල් කිරීමට කටයුතු කරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

”අපේ සහල්වලින් ආහාර පාන බත විතරක් නෙවෙයි. සහල්වලින් තව අතුරු නිෂ්පාදන ගණනාවක් තිබෙනවා. අපේ වී නිෂ්පාදනය අඩු නිසා. සහල්වලින් අනිත් නිෂ්පාදන තහනම් කරලා ගැසට් එකක් තිබුණා. හාල්වලින් අනිත් නිෂ්පාදනය කරන්න තහනම්. ඇයි? අපිට හාල් මදි බත්වලට විතරක්. හැබැයි අපේ දැන් හාල් නිෂ්පාදන ඇති වෙලා තිබෙනවා. අපි පහුගියදා ඒ ගැසට් එක අයින් කරා. ගැසට් එක අයින් කරලා හාල්වලින් බත් විතරක් නෙවෙයි හාල්වලින් අනිත් නිෂ්පාදනයන්ටත් යන්න පුළුවන් විදිහට හාල් වෙළඳපොළ වැඩි කරන්න ඕන.

ජනප්‍රිය පුවත්  සාරා ජස්මින් මැරිලත් නෑ! ඉන්දියාවෙත් නෑ! ඕන වුණොත් වරෙන්තු කරනවා!

තමුන්නාන්සේලා නිෂ්පාදනය කරනවා නම් ගොවිජනතාව විශාල අස්වැන්නක් ගේනවා නම් ඒක බතට විතරක් විතරක් වැඩියි. ඒ නිසා තව අතුරු, සත්ව ආහාර, එතෙන්ටත් අපි යන්න ඕන. තව බියර් නිෂ්පාදන. එතන්ටත් යන්න වෙනවා.. අපි දන්නවා ජපන් රටේ සහල්වලින් විශාල නිෂ්පාදන කරනවා. හැබැයි අපි සහල්වලින් බත විතරක් නිෂ්පාදනය කරන රටක් බවට පත්වෙලා තිබෙනවා. එතකොට හාල් වැඩි වුණොත් අර්බුද එනවා. ඒ නිසා අනිත් නිෂ්පාදනවලටත් යන්න ඕනේ.. අනිත් නිෂ්පාදනවලට ගියපුවහම ගොවි ජනතාවට තවත් තමන්ගේ වීවලට වැඩි මිලක් ගන්න පුළුවන් කියලා අපි අපේක්ෂා කරනවා. ඒ නිසා තිබුණා ගැසට් එකක්, අනිත් නිෂ්පාදනවල තහනම් කරපු ඒ ගැසට් එක අපි අයින් කරා. සහල්වලින් බත් පමණක් නෙවෙයි, අනිත් නිෂ්පාදනත් කරන්න කරන්න පුළුවන් දැන්. තව වගා කරමු. තව අපේ කුඹුරේ අස්වැන්න වැඩි කරගමු. තව ඵලදායිතාවය වැඩි කරගමු. තව මහන්සි වෙමු. අපි නිෂ්පාදන වැඩි කරමු. අපේ රටට අවශ්‍ය වෙන නොයෙකුත් ආහාර වර්ග අපිට සහල්වලින් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ දිශාවට අපි යන්න ඕන.

අපේ පසු අස්වනු නාස්තිය වැළැක්වීමේ ආයතන තිබෙනවා. ඒ ආයතනය සහල්වලින් නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් විශාල ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. හැබැයි හොයාගත්තට වැඩක් නෑ. බිස්කට් හදන ඒවා තියෙනවා. කේක් හදන ඒවා තියෙනවා. අතුරු නිෂ්පාදන විශාල ප්‍රමාණයක් හදනවා. හැබැයි ඒවා පර්යේෂණ මට්ටමේ තිබෙන්නේ. අපි ඒවා වෙළඳපොලට ගේන්න ඕන. එතකොට තමයි අපිට හාල්වලට විශාල වෙළඳපොලක් හැදෙන්නේ.”

ජනප්‍රිය පුවත්  බදු පදනම පුළුල් කරන්නැයි IMF රජයට දන්වයි..

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x