රා.සේ.පි.
1 min read
මේ තියෙන්නේ අපේ රටේ රාජ්‍ය ලාංඡනය බව නොදන්නා කිසිවෙක් නොවේ.
මේ රාජ්‍ය ලාංඡනය අපට ලැබුණේ 1972 වසරේදී ය. ඒ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසුය. 1972 ට පෙර ලංකාව නැමැති ඩොමීනියන් රාජ්‍යය භාවිත කළේ බ්‍රිතාන්‍ය ලංකා රාජ්‍ය ලාංඡනය බව වැඩිදෙනෙක් දන්නේ නැත. ඒ රාජ්‍ය ලාංඡනය නිර්මාණය කෙරුණේ 1948 දී ලද ඩොමීනියන් නිදහසෙන් පසුය.
ඒ පැරණි රාජ්‍ය ලාංඡනයේ ඉහළින්ම පැවතියේ බ්‍රිතාන්‍ය රාජකීය කිරීටය ය. එමගින් සංකේතවත් කළේ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් රැජිණ එවකට ලංකාවේ ද රාජ්‍ය නායිකාව වූ බවය. ඒ රාජ්‍ය ලාංඡනයේ පහළින්ම ඉංග්‍රීසි සිංහල හා දෙමළ භාෂා වලින් “CEYLON – ලංකා” යනා දී වශයෙන් සඳහන් කර තිබිණි.
මේ රාජ්‍ය ලාංඡනය බිහිකළේ 1972 ජනරජ ව්‍යවස්ථාවත් සමඟ ය. එය මූලිකව රූපයට නැගුවේ නිශ්ශංක අලහකෝන් නැමැති චිත්‍ර ශිල්පියා ය. ඒ, ප්‍රකට කලාකරු ආචාර්ය ඇල්බට් ධර්මසිරි ඇතුළු තවත් කලාකරුවන් රැසකගේ උපදෙස් මතය.
මෙහි වන දකුණු අතින් කඩුවක් ගත් සිංහයා මගින් විනයගරුකබව, නිර්භීතකම හා සාධාරණත්වය නිරූපණය වන්නේ ය. මාධ්‍යයේ ඇති සිංහයා වටා වන පළා පෙති/ නෙළුම් පෙති මාලාවෙන් පිරිසිදුකම සහ උදාරත්වය නිරූපණය වේ. පාදම මත තිබෙන පුන්කළස මඟින් කියාපාන්නේ සෞභාග්‍යය හා සමෘද්ධිය යි. පුන්කළස දෙපසින් නැගී යන වී කරල් මගින් ස්වයංපෝෂිතභාවය සහ කෘෂිකාර්මික දියුණුව කියපන්නේ ය. ධර්ම චක්‍රයෙන් කියන්නේ රටේ දැහැමි පාලනය, සාධාරණත්වය සහ බෞද්ධ දර්ශනයේ ඇති ඉහළම ගරුත්වය යනාදිය යි.
ඉර සහ සඳ මඟින් කියාපාන්නේ “හිරු සඳු පවතින තුරු” ශ්‍රී ලංකා රාජ්‍යයේ අඛණ්ඩ පැවැත්මයි.
ගාන අනුව නම් අපේ රටේ මේ ලාංඡනය යටතේ 1,156,081 ක පමණ පිරිසක් සේවය කරයි. ඒ ගානට ශ්‍රී ලංකා යුද, නාවික සහ ගුවන් හමුදාවට නිල ඇඳුම්ලත් සේවක සංඛ්‍යාව අයිති නොවේ.
මේ අයගෙන් රාජ්‍ය අංශයේ සේවකයින් ගණන 938,763 කි. අර්ධ රාජ්‍ය අංශයේ සේවකයින් ද 217,255 ක් ද මීට අයත්ය. මුළු සේවකයන්ගෙන් සියයට 50.5 ක් පිරිමි ය. සියයට 49.5 ක් කාන්තාවන් ය. සමස්ත සේවක සංඛ්‍යාවෙන් 96.3 ක්ම ස්ථීර සේවකයන් ය. ඉතිරි පිරිස අයත් වන්නේ කොන්ත්‍රාත්, අනියම් හෝ තාවකාලික පදනමට ය.
මෙයින් 242,309 ක් විහල්පතිවරු ඇතුළු ගුරුවරුන් ය. ඒ අය ඉන්නේ දිවයින පුරා විසිරී සිටින රජයේ පාසැල් 10,047 ක ය.
මේ හැමෝම ඉන්නේ මේ තියෙන රාජ්‍ය ලාංඡනය නියෝජනය කරමින්ය. මේ අය පසුගිය ජනාධිපතිවරණයේ දී අනුර කුමාරට ඡන්දය දුන්නේ සියයට 90 ටත් වඩා වැඩි වැඩියෙන්ය.
අනුර කුමාර ජනාධිපති වී දැන් කරමින් ඉන්නේ ඒකට කෘතගුණ සලකන එකය. එය ඔහු කරන්නේ එක එක විදියට ය.
හොරු අල්ලනවායැයි කියමින් නටන නාඩගමෙන් වැඩිපුරම බියට පත්කරඇත්තේ රාජ්‍ය සේවකයා ය. මේ නිසා අද රාජ්‍ය සේවකයෝ තීරණ ගන්නේ නැත. ඒ, වැඩ කරන්නට ගොස් කරදරේ වැටෙනවාට වඩා වැඩ නොකර සිටීම හොඳයි කියා හිතාගෙනය. හමුදා බුද්ධි අංශ ඇත්තේ අඩපණ කරමින් ය. රාජ්‍ය සේවයේ ඵලදායිතාව මේ නිසා වැටී ඇත්තේ බිංදුවට ය.
ජනාධිපති අනුර කුමාරගේ කැබිනට්ටුවේ ඉන්න ලාල් කාන්ත කියන්නේ තවමත් හොරකම ඇත්තේ මේ රාජ්‍ය සේවකයා අතර බවය. දේශපාලන තලයේ දැන් හොරකම තුරන් කර ඇති බවය. දුන්න කතිරයට කලගුණ සලකන තවත් ආකාරයක් එහෙමය.
කළගුණ සැලකීම උපරිමයෙන් කරන්නේ අමාත්‍ය වසන්ත සමරසිංහ ය. ඒ, ගුල්ලෝ ගැසූ හාල් කිලෝ 20 ක් සහනදායි ණය යෝජනා ක්‍රමයකට රාජ්‍ය සේවකයාට ලබාදීමෙන්ය. ඒ පුවත ඇසෙන විටත් රාජ්‍ය සේවකයාට පට්ට ආඩම්බරය.
මේ වගේ වැඩවලට අපේ පැරැන්නෝ කීවේ “බත් දෙන අත හපා කනවා” වගේ කියා ය. ඇත්තටම දැන් මේ ආණ්ඩුවනම් “ලුණු නැති බත” වගේය. මෙලෝ ගුණයක්, මෙලෝ රහක් ආණ්ඩුව සතුව නොවන බව දැන් නම් ඉතින් කාට කාටත් පැහැදිලිය.
රාජ්‍ය සේවකයා ද ඡන්දය දීලා හිතා හිටියේ “විට්ස් කාර්” ගන්නට ය. ඒත් ලැබෙන්නට නියමිතව ඇත්තේ හාල් කිලෝ 20 ක් ණයට ය. එහෙත් දැන් ඒවා ගැන හිතලා වැඩක් ඇත්තේම නැත. අස්වනු ලැබෙන්නේ වපුරපු හැටියටයැයි පැරැන්නෝ කීවේ ඔය හින්දාය. රාජ්‍ය සේවකයාට ද දැන් සිදු වී ඇත්තේ “තමන් තම්බපු හොද්ද තමන්ටම බොන්න වුනා” වගේ වැඩක් ය.
කවුරු කවුරුත් රත්තරන් කියා රැවටී ඇත්තේ පිත්තල වලටය. “කැණහිලාට රජකම දුන්නා වගේ” කියා පැරැන්නෝ කීවේ මේ අන්දමේ “පරිප්පුවක්” කෑවට පසුය. දැන් වෙලා තියෙන්නේ “වඳුරාට දැලි පිහිය අහුවුණා වගේ” වැඩක් ය.
කොහොම උනත් රාජ්‍ය සේවය පිණිස ගුල්ලො ගහපු හරි හාල් කිලෝ 20 බැගින් ණයට ලබාදෙන ආණ්ඩුවට පින් ය! මෙහෙවු පින් අතේ සිතුවිලි තවත් පහළ වෙන්නට ඒ පින් අනුමෝදනා වෙන්නේ ය. දැනට කියන්නට ඇත්තේ කාට කාටත් “සාදු – සාදු” යැයි කියාය.
