තවදුරටත් සේවය කරන්න පුලුවන් කියලා අධිකරණ, සෞඛ්‍ය වෘත්තිකයන් කියනවා.. විශ්‍රාම වයස දිගු කිරීම ගැන සලකා බලනවා.. – ඇමති නලින්ද ජයතිස්ස
1 min read
රාජ්‍ය අංශයේ විවිධ වෘත්තිකයින්ගේ විශ්‍රාම යන වයස සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති ඉල්ලීම් පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අධිකරණ ක්ෂේත්රය, සෞඛ්‍ය සේවාව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක වෘත්තිකයින්ගෙන් මෙම ඉල්ලීම් ලැබී ඇති බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.
විශේෂයෙන්ම අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය සහ මහාධිකරණ විනිසුරුවරුන් මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයින් ද තමන්ට තවදුරටත් සේවය කිරීමට හැකියාව පවතින බැවින් විශ්‍රාම වයස වැඩි කරන ලෙස ඉල්ලා ඇති බව ඔහු පැවසීය.
“විවිධ වෘත්තීය මට්ටම්වලින් මේ ඉල්ලීම ඉදිරිපත් වෙලා තිබෙනවා. තමන්ට තව කාලයක් සේවය කිරීමට ශක්තිය සහ හැකියාව පවතින බවයි ඔවුන් පවසන්නේ. මේ සම්බන්ධයෙන් විවිධ මතවාද තිබිය හැකි වුවත්, රජයක් ලෙස අප මෙම සියලු ඉල්ලීම් පිළිබඳව මේ වන විට සලකා බලමින් සිටිනවා,” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
